මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත සඳහා අධිකරණය ඉදිරිපත් කළ සංශෝධන පිළිබඳ සොයාබලා ඒ පිළිබඳ පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර ප්‍රජාතන්ත්‍රවාදි ආකාරයට මෙම කටයුතු විසඳීම කතානායකවරයා සතු වගකීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.
විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (26 දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මේ බව සඳහන් කළේය.
මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂණ රාජකරුණා මහතා මෙසේද පැවැසීය.
පසුගිය සතියේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත (ඔන්ලයින් පනත) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ පනතට විරුද්ධව විපක්ෂය අධිකරණයට ගියා. ඒ වගේම ජාත්‍යන්තරය ඇතුළ වෙනත් සංවිධාන රැසක් එම පනතට එරෙහිව විරෝධය පළ කළා. කෙසේ වෙතත් බලහත්කාරයෙන් අධිකරණය ලබාදුන් සංශෝධන අමතක කරලා ඊට විරුද්ධ ප්‍රජාතන්ත්‍ර විරෝධි වැඩකටයුත්තක් පාර්ලිමේන්තුවේදී සිදුවුණා.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත (ඔන්ලයින් පනත) පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවිමේදී විපක්ෂය ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා. තුන්වෙනි වර කියවීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමට විරුද්ධතාවයක් තිබෙන බව කතානායකවරයා දැනුවත් කළත් කතානායකවරයා වෙනදා වගේම ඒ ගැන සොයාබලන්නේ නැතිව පනත සම්මත වෙලා අවසන් කියලා ප්‍රකාශ කළා.
ඒ වගේම මෙම පනතට අධිකරණය විසින් ලබාදුන් සංශෝධන පාර්ලිමේන්තුව තුළින් ඉටුවෙලා නෑ. මෙම පනත සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් සංශෝධන වහාම ඇතුළත් කළ යුතුයි. එසේ නොකළහොත් පාර්ලිමේන්තුව සහ අධිකරණය අතර විශාල ගැටලුවක් නිර්මාණය වෙනවා. ඒ හරහා ප්‍රජාතන්ත්‍රවාදයට විශාල බලපෑමක් සිදුවෙනවා. පාර්ලිමේන්තුවෙන් යම් අඩුපාඩුවක් වුනොත් අපිට යන්න තිබෙන එකම තැන තමයි අධිකරණය. අධිකරණයෙන් ලබාදුන් නියෝග පාර්ලිමේන්තුවෙන් ඉටු වන්නේ නැතිනම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ කටයුත්තක් බවට පත් වෙනවා.
ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙවැනි වැඩකටයුතු රටේ ආයෝජනයටත් බලපාන බව තානාපති කාර්යාල පවා නිවේදන නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවට ආයෝජකයෝ ගේනවා. රටට අවශ්‍ය මූල්‍යමය ශක්තිය ලබාගන්න ජාත්‍යන්තරයෙන් උදව් ලබාගන්නවා කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෝකය වටේ ගිහින් කියනවා. ජනාධිපතිවරයා හැම මාසේම එක රටකට සංචාරය කරනවා. තව ඔහුට තියෙන්නේ මාස 8 ක් වගේ කාලයක්. ඒ මාස 8 තුළත් රටවල් 8 කට විතර ඔහු යයි. ඊට පස්සේ ගෙදර තමයි යන්න වෙන්නේ.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍ර විරෝධි කටයුතු සිදුවන බව තානාපති කාර්යාල පවසන කොට විදේශ රටවල සිටින ආයෝජකයෝ ලංකාවට එන්නේ නෑ. දේශීය ආයෝජකයන්ටත් මෙවැනි කටයුතු නිසා රට පිළිබඳ විශ්වාසයක් නැති වෙනවා. රටේ ප්‍රජාතන්ත්‍ර විරෝධි කටයුතු සිදුවෙනවානම් දේශීය මෙන්ම විදේශීය ආයෝජකයෝ ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්නේ නෑ. මෙය ඉතාම බරපතල කාරණයක්. ශ්‍රී ලංකාවේ සිදුවන ප්‍රජාතන්ත්‍ර විරෝධි කටයුතුවලට පාර්ලිමේන්තුව තුළදිත් ඉන් පිටතදීත්, අධිකරණයේදී ඊට විරෝධය පළ කරනවා.
කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරනවා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පතට අත්සන් කරන්න කලින් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා පක්ෂ නායකයන් කැඳවලා, මේ ගැන සාකච්ඡා කරලා ඒ අවශ්‍ය වෙනස්කම් සිදුකරන්න කියලා. පනත අත්සන් කළොත් මෙය නීතියක් බවට පත් වෙනවා. එවැනි අවස්ථාවක අධිකරණයටවත් මැදිහත් වෙන්න බෑ. අධිකරණය කියන කරුණු පිළිගන්නේ නැති පාර්ලිමේන්තුවක් නිර්මාණය වුනොත් ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළ සම්පුර්ණයෙන් විනාශ වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ වගකීම කතානායකවරයා සතු වෙනවා. නමුත් කතානායකවරයාගේ හැසිරීම දෙස බැලුවහම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරයි කියලා අපිට විශ්වාස නෑ.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත සඳහා අධිකරණය ඉදිරිපත් කළ සංශෝධන ඉටුවෙලා ද නැද්ද කියලා සොයා බලලා ඒ පිළිබඳ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර ප්‍රජාතන්ත්‍රවාදි ආකාරයට මේ කටයුතු විසඳන්න කතානායකවරයාට වගකීමක් තිබෙනවා.
රට තුළ තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධි පනත් සියල්ලට සංශෝධන ගෙන ඒමටත් රටට සුදුසු නැති පනත් අවලංගු කිරීමටත් සමගි ජන බලවේග රජයක් තුළ සිදුකරනවා.