බිල නැග්ගත් විදුලි කප්පාදුවක් අත ළඟ – විදුලි ඉංජිනේරු සභාපති

147

විදුලි බිල වැඩි කළත් ජූලි මාසයට පෙර රටේ නැවත විදුලි කප්පාදුවක් සිදුවනු ඇතැයි විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා ඊයේ (26 දා) පැවසීය.

දෛනිකව පැය දෙකක විදුලි කප්පාදුව තවදුරටත් පවත්වාගෙන ගියා නම් යම් තරමකින් හෝ විදුලිය අරපිරිමැස්මක් ඇතිකර ගත හැකිව තිබූ බවත් එම තත්ත්වය නැති කිරීමේ ප්‍රතිඵල ඉදිරියේදී දැකගත හැකිවනු ඇති බවත් වීරරත්න මහතා කීය.

ජනතාවට අඛණ්ඩව විදුලිය ලබාදුන්නද හැකි තරම් අරපිරිමැස්මෙන් විදුලිය භාවිතා කරන ලෙස බලධාරීන්ගෙන් නිසි උපදෙසක් නොලැබෙන බවත් ඒ නිසා ජනතාව සුපුරුදු ආකාරයෙන් විදුලිය භාවිතා කිරීමට පුරුදු වී ඇති බවත් ඒ මහතා පැවසීය.

සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා පැරණි ශීතකරණය ඉවත් කර නව ශීතකරණයක් ගැනීම, එකවර ඇඳුම් කිහිපයක් මැද තබා ගැනීම වැනි උපදෙස් දී තිබෙන බවත්, ආර්ථික තත්ත්වය හමුවේ එවැනි තැනකට යා හැකි ලෙස ජන ජීවිතය ගොඩනැගී තිබේද යන්න සොයා බලන ලෙසත් වීරරත්න මහතා එහි විදුලිය බලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි.

අප්‍රේල් මාසයෙන් පසු එළැඹෙන වර්ෂාවෙන් අඛණ්ඩව විදුලිය ලබා දීමටය රජය බලාපොරොත්තු වුවත් ප්‍රධාන බලාගාර හයෙන් තුනක පිහිටි ප්‍රදේශවලට පමණක් එම වර්ෂාව ලැබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment