අධික අව්වෙන් සතුන්ට ආතතිය: මරණයටත් අත වනයි

86

අධික අව් රශ්මියෙන් ගවයින් ඇතුළු නිදැල්ලේ ගැවසෙන සතුන් ආතතියට, ලෙඩ රෝගවලට පත්වීම හෝ උන්ගේ මරණය පවා ඇතිවීමේ අවදානමක් පවතින බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා වෛද්‍ය හේමමාලී කොතලාවල මහත්මිය කීවාය.

උතුරුමැද, උතුර, නැගෙනහිර, වයඹ පළාත්වල නිදැල්ලේ ගවයින් ඇතුළු සතුන් ඇති කෙරෙන බවත් දිවයින පුරාම අධික උෂ්ණත්වයෙන් සතුන් පීඩාවන්ට පත්වීමේ හැකියාව පවතින බවත් ඇය පැවැසුවාය. කිරි ගවයින් ඇතුළු සතුන්ගේ ආතතිය ඉහළ යෑම, ලෙඩ රෝගවලට පත්වීම, ශරීරයේ බර පහළ යෑම, සතුන්ගේ මරණය පවා ඇතිවීම දැඩි අව් රශ්මියත් සමග ඇතිවිය හැකි බව ද ඇය කීවාය.

නිදැල්ලේ ගැවැසෙන සතුන් ජල මූලාශ්‍ර සහිත ප්‍රදේශවල ගාල් කිරීම වඩාත් සුදුසු බවත් සතුන් විවෘත පරිසරයේ ආහාර ගැනීමට ගාල් නොකළයුතු බවත් දවස පුරාම සතුන්ට ජලය පානය කිරීමට සුදුසු ලෙස සකස් කිරීම, මනා වාත්‍රාශ්‍රයක් සහිත ස්ථානවල සතුන් ගාල් කිරීමට පියවර ගත යුතු බවත් ඇය පැවැසුවාය.

නිදැල්ලේ ගැවැසෙන ගවයන්ට මෙහි බලපෑම උග්‍ර විය හැකිය. ජල මූලාශ්‍ර සහිත ස්ථානවල ගවයින් ගාල් කිරීමට ගොවීන් උනන්දුවිය යුතු බව ද පැවැසුවාය. මේ පිළිබඳව පළාත් අධ්‍යක්ෂවරුන් දිස්ත්‍රික් අධ්‍යක්ෂවරුවන්ට ලිඛිතව දන්වා ඇති අතර ගොවීන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ද දැනුම්දී ඇත.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment