‘ඉන්ටර්නැෂනල් ස්කූල්’ ඇම්ම… ෆැෂන් එකටද අධ්‍යාපනය වෙනුවෙන්ද ?

393

සමාජ විමර්ශණ

අද අප රටේ බොහෝ ගම් නගරවල හන්දියක් හන්දියක්, පාරක් පාරක් ගානේ දැකිය හැකි වස්තූන් රාශියක් ඇත. චීන කෑම අවන් හල්, කොමියුනිකේෂන්, ටියුෂන් පන්ති හා ජංගම දුරකථන උපාංග හල් මෙන්ම ජාත්‍යන්තර පාසල් හෙවත් ඉන්ටර්නැෂනල් ස්කූල් (International School) නම් ආයතන ද ඉන් ප්‍රධාන තැනක් ගනී. කටවහරට මෙම ස්ථාන ඉන්ටර්නැෂනල් ස්කූල් කියා ඇමතුවද මධ්‍යම රජය සහ රාජ්‍ය අධ්‍යාපන තන්ත්‍රය විසින් මේවා හඳුන්වන්නේ පෞද්ගලික අධ්‍යාපන හා ඉගැන්වීම් ආයතන හෙවත් (Private Educational and Tutoring institute) යන නමිනි.

පහත සඳහන් පෙර කතාව මුලින් කියවා ඉන්පසු අපි ඒ ජාත්‍යන්තර පාසල් සංස්කෘතිය ගැන විමසමු.

වරක් එක්තරා සමීක්‍ෂණ කණ්ඩායමක් විසින් අහඹු ලෙස කැඳවා තෝරා ගත් වයස අවුරුදු පහත්, හතත් අතර වයසැති කුඩා පාසල් දරුවන් විස්සකගේ නියැඳියක් විවිධ ආකර්ෂණීය අංග හරහා යවමින් නිරීක්‍ෂණයන්ට භාජනය කරන ලදී. ඒ අතර භාෂාමය, ක්‍රීඩාමය, සාමාන්‍ය දැනුම, මානසිකත්වය, නිර්මාණශීලීත්වය හා බාහිර පරිසරයේ කරන ශාරීරික ව්‍යායාම් ආදිය විය. අංග වශයෙන් ගතහොත් ගීත ගායනා, කතන්දර කීම හා සාවධානව ඒවා ඇසීම, නැටීම, ගෘහස්ථ ක්‍රීඩා, ගස් නැඟීම, පඩි පෙළකින් බැසීම, ආහාර ගැනීම, මුහුණ අතපය සේදීම, වැසිකිළියට යෑම වැනි පෞද්ගලික කටයුතුවල නිරතවීම ආදිය නම් කළ හැක.

මේ අය අතරින් ඉංග්‍රීසි භාෂා දැනුම, විදේශීය ක්‍රීඩා හා සංගීතය පිළිබඳ දැනුමෙන් සියයට සියයක්ම ඉදිරියෙන් සිටියේ ජාත්‍යන්තර පාසල් යැයි කියන ආයතනවල අධ්‍යාපනය ලබන දරු පැටවුන්ය.

'ඉන්ටර්නැෂනල් ස්කූල්' ඇම්ම… ෆැෂන් එකටද අධ්‍යාපනය වෙනුවෙන්ද ?

අනිත් ළමා ළපටින් ක්‍රීඩා, ශාරීරික සුවතාවය, දේශීය සංගීතය හා කතන්දර, සාමාන්‍ය දැනීම, නිර්මාණශීලීත්වය ආදියෙන් වැඩි ලකුණු ලබාගන්නා ලදී. ඒ නගරයේ රජයේ පාසල්වල, මහා විද්‍යාලයේ, මධ්‍ය මහා විද්‍යාලයේ, ගමේ ඉස්කෝලේ ඉගෙන ගන්නා ළමුන්ය.

එමෙන්ම පඩි දහයක් ඇති ආරක්‍ෂාකාරී පියගැට පෙළක් නැඟ නැවත එය බසින්නට යොමු කළ කල එය තනිවම නිමකළ අය දහතුන් දෙනෙකි. ඉතිරි හත් දෙනාගෙන් දෙදෙනෙක් මගදී නතර වී අඬන්නට වූ අතර තව දරුවෙක් පඩියට පයක් තැබීම පවා ප්‍රතික්‍ෂේප කළේය. තව අයෙක් වැටෙන්නට ගිය අතර අනෙක් තිදෙනාම උඩට නැග්ගත් යළිත් පහළට ගෙන ඒමට සමීක්‍ෂණ කණ්ඩායමේ අයෙකුට පඩි නැඟීමට සිදුවිය. මෙහිදී පඩිපෙළ නැඟ යළි බසින්නට නොහැකි වූ හත්දෙනාම නගරයේ ජාත්‍යන්තර පාසල්වල උගන්නා අයයි. ඉතිරි දහතුන් දෙනා පඩිපෙළ පමණක් නොව ගස් අතුපතර යෑමට, වැලි වලින් ලස්සන මාළිගා තැනීමට, නාට්‍ය රඟපෑමට, කවි ගීත ගායනාවටත් මහත් දස්කම් පෙන්වීය. මෙම සමීක්‍ෂණය වනාහි මහ වැඩකට නැති ප්‍රාථමික මට්ටමේ එකක් යැයි මේ ලිපිය කියවන සමහරෙක් සිතනු ඇත. එය ඇත්තකි, නමුත් අද අප රටේ ඇති ජාත්‍යන්තර පාසල් යැයි කියන ආයතනවලින් පිටවන හා ඒවායේ උසස් පන්තිවල අධ්‍යාපනය ලබන නව යොවුන් තරුණ තරුණියන්ගේ සංස්කෘතිය ගැන විමසන්නට නිමිත්තක් පහළ වන්නේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි.

අප දන්නා පරිදි මෙයට දශක දෙකකට පමණ පෙර ජාත්‍යන්තර පාසල් කියා දෙයක් තිබුණේ නැත. අසූව දශකයේ මුල් කාලයේ පෞද්ගලික පාසල් යන ලේබලය යටතේ කොළඹ නගරය ආශ්‍රිතව මෙවැනි ආයතන දෙක තුනක් දකින්නට තිබුණි. ඒවායෙන් කෙරුණේ ටියුෂන්වලින් මඳක් ඔබ්බට ගිය අමතර ඉගැන්වීම් හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලන්ඩන් උසස් පෙළ, සිටි ඇන්ඩ් ගිල්ඩ් වැනි විභාග කරන අයට පන්ති පැවැත්වීමයි. උසස් හා උසස් මධ්‍යම පන්තියේ දරුවන් පමණක් මේවායේ සේවය ලැබූහ. එසේම රජයේ පාසල්වලින් නෙරපන, වයස වැඩිකම නිසා රජයේ පාසලක උසස් පෙළ පන්තියට ඇතුල්විය නොහැකි, දෙතුන් වරක් විභාගය කර අසමත්ව කෙසේ හෝ අවසානයේ යන්තම් සමත්වූ අය හෝ දැඩි ආරක්‍ෂාව අධීක්‍ෂණය යටතේ තැබිය යුතු යොවුන් සිසු සිසුවියන් සඳහා වෙන්වුණු පෞද්ගලික පාසල් කීපයක්ද නගරයේ දකින්නට ලැබුණි. කීර්තිමත් නාමයන් ඇති දැනුමධරයන් හා දක්‍ෂ උගත් පළපුරුදු විද්වතුන් මෙහි හිමිකාරීත්වය හා පරිපාලනය දැරූ අතර නම් වශයෙන් කීවොත් පෙම්රොක්, ස්ටැෆර්ඩ්, ඇලෙක්සැන්ඩ්‍රා, සුජාතා, ලින්ඩ්සේ, හයිලන්ඩ්, බුඩිස් ලේඩීස් ආදී ලෙස සඳහන් කළ හැකිය. අදටත් මේවායින් සමහරක් තව තවත් වර්ධනය වී උපරිම තත්ත්වයන් හා පහසුකම් මත සිසු නැණස පාදන ස්ථාන ලෙස පවතී.

මේවාට අමතරව කොළඹ හා ප්‍රධාන නගරවල තිබූ රජයේ පාසල්වලත්, අර්ධ රාජ්‍ය, අර්ධ පෞද්ගලික (semi government) පාසල්වලත් සහ ඇන්ග්ලිකානු මෙතෝදිස්ත හෝ කතෝලික පල්ලියකට අනුයුක්ත පූර්ණ පෞද්ගලික පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් (English medium) උගන්වන පන්ති කීපයක්ද දකින්නට ලැබුණි. මේවායේ අධ්‍යාපනය ලැබුවේ ඉහළ පන්තියේ අයත්, පිටරටවල කුඩා කාලය ගතකර අතර මැදදී ලංකාවට ආ අයත්, මෙරට සේවය කරන විදේශිකයන්ගේ දරුවන් වැනි අයත් පමණි. ඔවුන් ද ඉතා විනීත, ආදර්ශමත්, සුහදශීලී, සංවර, වැදගත් හා පාඩමට ලැදි (well-mannered and studious) දරුවෝ වූහ. ඔවුන් හා ඔවුන්ගේ දෙමාපියන් තම පාසලේ ඉන්නා දිළිඳු හා අඩු ආදායම් ලබන දෙමාපියන්ගේ දරුවන්ට ඉතා හොර රහසින් මුදලින් හා ද්‍රව්‍යමය වශයෙන් ආධාර කරන්නට තරම් ත්‍යාගශීලීව සිටියහ.

නිදහස් ආර්ථික සංකල්පයත් සමගම එතෙක් පැවැති නිදහස් අධ්‍යාපන ක්‍රමයට තව තවත් දේ ආරෝපණය වී මෙම ජාත්‍යන්තර පාසල් හෙවත් (International School) ඉන්ටර්නැෂනල් ස්කූල් සංස්කෘතිය බිහිවිය.

අප කලින් කීවාසේ මේවා එම නමින් හඳුන්වන්නේ ඒවායේ හිමිකරුවන් හා එහි ඉගෙන ගන්නා ළමුන්ගේ දෙමාපියන් පමණි. ඇත්ත නම පෞද්ගලික අධ්‍යාපන හා ඉගැන්වීම් ආයතනයි (Private Educational and Tutoring institute)

ඇමැති පුත්තු, දූවරු, ධනවත් ව්‍යාපාරිකයන්ගේ තානාපති සේවය සඳහා මෙරටට පැමිණ ඇති විදේශිකයන්ගේ හා මෙරට වෙසෙන පිටරටවල අයගේ දූ දරුවන් සඳහා පමණක් දොර ඇරුණු මෙම අධ්‍යාපන ආයතන පසු කාලයේදී මුදල් තියෙන ඕනෑම අයෙකුගේ දරුවෙකුට යාහැකි කඩ බවට පත්වන්නට විය.

තමාගේ හිතට හරියන පාසලක් තම දරුවාට නොලැබුණ කල්හි බොහෝ දෙමව්පියන් අද නැඹුරුවක් දක්වන්නේ දරුවාව මෙකී ජාත්‍යන්තර පාසලකට ඇතුල් කිරීමටයි. ඇත්තටම එය නැඹුරුවකට වඩා කළයුතු වෙන දෙයක් (විකල්පයක්) නැති නිසා සොයන උත්තරයක් ලෙස හැඳින් වූවාට කම් නැත. මෙවන් තත්ත්වයට පත් වන අම්මලා තාත්තලා ඉන් ලැබෙන සහන සහ වාසි ගැන මෙසේ පවසනු අප අසා ඇත.

● දරුවාට හොඳ සමාජයක් ඇසුරු කරන්නට ලැබෙනවා.

● ඉංග්‍රීසි මාධ්‍යයෙන් (English medium) ඉගෙන ගන්න නිසා ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය වෙනවා.

● ජාත්‍යන්තර විභාගවලට තමයි අපේ ළමයි වාඩි වෙන්නේ, ඒ නිසා ලේසියෙන්ම පිට රටකට ගිහින් වැඩිදුරට ඉගෙන ගන්න පුළුවනි.

● නව පන්නයට, උසස් සමාජයට අනුව ළමයි හැඩ ගැහෙනවා.

මෙම හේතු ඉතාම යහපත්, සාධාරණ, සුබවාදී දේ බව අපි ද දකින්නෙමු. ඒ ගැන තර්කයක් නැත. නමුත් මෙම තත්ත්වයන්ගේ අතුරුපල හා වෙනත් විපාක ද අපි බොහෝ දැක ඇත්තෙමු. මෙයට හේතුව ගැන ඉතාහොඳින් පිටු කීපයකින් විස්තර කළ හැකි වුවද අප ජන ප්‍රවාදයේ එන පිරුළු කීපයක් ගෙන හැර දක්වමින් එය මෙසේ දක්වමු.

● ඇඟිල්ලේ තරමට තමයි ඉදිමෙන්න ඕනි

● ගොඩැල්ලෙ තරම දැනගෙන උඩ පනින්න

● මැස්සෙක් ගිය උඩක්

‘ගමේ ගොඩේ ජීවත්වන පාලලා, සේනලා, ලතාලා, වනීලාගේ දරු දැරියන්ට උසස් පාසල්වල ඉගෙන ගැනීම තරම් නැත’ යන්න අපි මෙයින් කිසිසේත්ම නොකියමු. නමුත් එවන් දේ කරන්නන් වාලේ කරන්නට ගොස් හොස්ස බිම ඇනගත් දෙනෝදාහක් අය අපට හමුවී ඇත.

දැන් අපි නැවත මෙම පාසල් දෙස හැරෙමු.

'ඉන්ටර්නැෂනල් ස්කූල්' ඇම්ම… ෆැෂන් එකටද අධ්‍යාපනය වෙනුවෙන්ද ?

අති සුඛෝපභෝගී සැප පහසුකම් ඇති වාරයකට ඉතා ඉහළ මිල ගණන් අයකරන අති ඉහළ පන්තියේ දරුවන්ට පමණක් වෙන් වුණු සුපිරි ජාත්‍යන්තර පාසල් කීපයක්ම අද කොළඹ නගරයේ ඇත. ඒවාට තම දරුවකු ඇතුළු කිරීම බහුතරයකට නම් සිහිනයක් පමණි. මෙවන් පාසලකට දරුවෙක් ඇතුළු කිරීමේදී වැඩිපුරම විමසා බලන්නේ දරුවාගේ තත්ත්වයට වඩා දෙමාපියන්ගේ සමාජ තත්ත්වයයි. මුදලට පමණක් මුල්තැන නොදෙයි. පියාගේ රැකියාව, ආදායම් මාර්ගය, මවගේ හැසිරීම් රටාව ඒ දෙපළගේ අධ්‍යාපනය ආදි දේ ගැන මනා ලෙස පිරික්සයි.

වරක් නුවර පැත්තේ එක් ජාත්‍යන්තර පාසලක ප්‍රධානියෙක් නිවාඩු දිනක තම මෝටර් රථය අතරමඟ නවතා හරක් මස් මිලදී ගැනීම සඳහා මස් කඩයකට ගොස් ඇත. බොහෝ සෙනඟ පිරුණු එම මස් කඩයේ ඔහු පෝලිමේ සිටියදී කඩයේ හිමිකරු ඇතුළේ සිට සෙනඟ ඈත් මෑත් කර “ආ එන්න ෂර්.. එන්න, ඒයි තමිබ්! අපේ මාත්තයට හොඳ කෑල්ලක් ගාතයකින් කපල දෙන්න හරිද?” කියා අණකර උසස්ම සපෝට්ටුවක් දී පිටත්කර අරින්නට පෙර මෙසේද කියා ඇත. “ෂර්! අපේ කොල්ලත් ඉගෙන ගන්නේ ෂර්ගෙ ස්කූල් එකේ තමයි”

එම ආයතන ප්‍රධානියා පසුදින ගුරු රැස්වීමේදී මෙසේ කියා ඇත. “ඊයේ මට වුණේ හරිම ලැජ්ජාවක්. බලන්නකෝ ටවුමෙ මස් මුදලාලිගෙ පුතත් ඉගෙන ගන්නේ අපේ ඉස්කෝලෙනෙ.”

උඩින් පෙනෙන අර්ථයට වඩා මෙහි කියැවෙන යටි පෙළ ගැන ඔබ තේරුම් ගනිත්වා!

තත්ත්වය එසේ වුවද ඉතා ඉහළ මුදලක් අය කළත් නිසි අධ්‍යාපනයක් නැති, සමාජ මට්ටමක් නැති, ගුණධර්ම සාරධර්ම නොහඳුනන අයගේ දරුවන්ට පවා මුදල් ඇත්නම් ඇතුල්විය හැකි ජාත්‍යන්තර පාසල් යයි කියන ආයතන රැසක්ම අද අප රටේ ඇත.

සමහර විට මෙවැන්නක හිමිකරු වන්නේ දීර්ඝ කාලයක් මුදලට ළමුන්ට අධ්‍යාපනය වික්කා වූ ටියුෂන් ගුරෙකි. ඔහුට කුමන හෝ දේශපාලන පක්‍ෂයක සම්බන්ධතාවයක් තිබේ නම් එය අතිරේක සුදුසුකමකි. මෙවන් අය බොහෝ දෙනෙක් අද ඉන්ටර්නැෂනල් ස්කූල් අරඹා ඇත.

ඉන්ටර්නැෂනල් පාසලකට තම දරුවා දමා ගන්නට අම්මලාට ද ඇත්තේ තද ඇම්මකි. එය අද විලාසිතාවක් බවට පත් වී තිබේ. නිසි අධ්‍යාපනයක් ලබා දී දේශීයත්වයට ලැදි, ආගමට දහමට නැඹුරු ආචාරශීලී ගුණගරුක අධ්‍යාත්මික ගුණවගාවෙන් යුතු සුචරිතවත් අයෙකු බවට තම දරුවා පත්කරනවාට වඩා මේ අම්මණ්ඩිලා ප්‍රාර්ථනා කරන්නේ නම් දරුවා හයිපයි උසස් පන්තියේ පොරක් කරන්නට හෝ පිටරට විභාගයක් පාස් කරවා ඌව පරයෙක් (පිටස්තරයෙක්) කරන්නටය. අද මෙය ඉතා ශීඝ්‍රයෙන් වෙමින් පවතී.

මෙකී පාසල්වල ඉගෙනගන්නා බහුතරයක් සිසුන්ට, සිසුවියන්ට ලිංගිකත්වය (sex) කාම රසය, මත්පැන්, රාත්‍රී ජීවිතය (night life) , ගුරු භක්තිය, දෙමාපියන්ට සැලකීම හා මත්ද්‍රව්‍ය ඉතා විෂම තලයක පවතී. විස්කි, බකාඩියා, ශිවාස්, රීගල්, ගංජා හෝ හෙරොයින්වලට අමතරව අප රටේ බොහෝ දෙනා කිසිදාක අසාදැක නැති ස්පීඩ් (Speed) ක්‍රැක් (Krack) එල්එස්ඩීහෂ්, ඈෂ් කොකේන් (Cokein) එක්ස්ටයි (cactacy) මෂ්රූම් (mushrooms) මත් හතු මත් පතොක් වැනි දේවල් ද මොවුන්ගේ සාමාන්‍ය පරිහරණයේ අති සුලබ දේවල්ය.

තම දෙමාපියන් ඉදිරියේම දෙතොල් උරා සිප වැළඳගැනීම්, නිවසේ එකම වහළයට ඇති කාමරයකට තම පාසල් පෙම්වතියව කැඳවාගෙන විත් ගැඹුරු රතියේ (practicing the deep sex) යෙදීම, සමහර විට විවාහ නොවී එකට ජීවත්වීම (living together) කුමර කුමරුවන් හෝ කුමරි කුමරියන් එක්ව නිවසේම සමලිංගික සේවනයේ යෙදීම මෙම සංස්කෘතියේ සුලබ සිදුවීම්ය. නිවසේ ඉදිරි සාලයේම in living room නිල් චිත්‍රපට බැලීම, අසංවර ලෙස වාඩිවීම, භාගෙට ඇඳුම් ඇඳීම, කතාබහ ආදියත් දකින්නට ඇත. ඇත්තම කියනවා නම් බහුතරයක් මෙවන් පාසල්වල සිසුවියන්ගේ පාසල් නිල ඇඳුම ද පෙන්නුම් කරන්නේ ශෘංගාරයකි. එය අප වැනි වියපතුන්ට වඩා තරුණ, ලාබාල සිසුවකුගේ මනස කළඹන්නට කාම රසයට පෙළඹෙන බලපෑම් කරන්නට හැකි භයානක අවියකි. බොහෝ තරුණ සිසුන් ගණිකාවන් පසුපස යන්නටත්, මසාජ් හෝ ස්පා සේවා සොයා යන්නටත් පෙළඹෙන්නේ මේවා නෙත ගැටීම නිසාය. ඒ බව ඔවුන් අපට අපමණවත් පවසා ඇත.

දෙමාපියන් ඇඹුල් කෑ කල දරුවන්ගේ දත් හිරිවැටේය’ යන හෙබ්‍රෙව් පිරුළ සනාථ කරමින් මෙහි අතුරු විපාක විඳින දරුවන් අපට නිතර හමුවෙයි. රැලි සායට තද පාට නයිලොන් හැට්ටය ඇඳ, එසේත් නැත්නම් වෙල්වට් සාය, අඩු මිල විස්කෝස් ටයි ඇන්ඩ් ඩයි ගවුම ඇඳි, ඇඟ ඇරපු, තෙල් මන්ද මෝරපු අම්මණ්ඩිලා, මදක් සල්ලි අතපත ගාන්නට වූ කල පස්ස හිරවුණු ඉස්සරහින් මලවි කරළිය (මලවියා හෙවත් අනංගයා සෙල්ලම් කරනවා යැයි සැලකෙන පිටිය වන යටිබඩ) පෙනෙන තුන්කාලේ කොට්න් කලිසමක්, පපුවෙන් තුන්කාලක් පෙන්වන ස්කිනියක් තම ඇඳුම කරගෙන ඇක්වා රථයක් විට්ස් රථයක් හෝ නවතම ස්විෆ්ට් රථයක් පදවමින් සෙල්ලම් දමන්නේ මෙම ඉන්ටර්නැෂනල් ස්කූල් සංස්කෘතියේ වැජඹෙන අනිත් අම්මලාට නොදෙවැනි වන්නටයි. කතාබහත්, ගමනත්, යන එන ස්ථානත් ඉතා ඉක්මණින් වෙනස් වන අතර පිහිනීම, ජිම් යෑම, සුපර් මාර්කට් එකෙන් බඩු ගැනීම ආදිය අත්‍යවශ්‍ය අංග බවට පත්වෙයි.

මේ එවන් අය දිහා වෛරයෙන්, කුහකකමින් බලා පහර ගහනවා යැයි සමහරෙකු සිතන්නට පුළුවන. නමුත් අප කතා කරන්නේ මෙහි ඇති ජුගුප්සාවයි, පිළිකුලයි. අප රටට ජාතියට ආගමට සදාචාරයට සංස්කෘතියට නොගැලපෙන තුප්පහිභාවයයි. මෙවන් දේ කිසිම ආගමක, කිසිම ධර්මයක අනුමත කරනවා යයි අපට කිව නොහැක. අප දන්නා අයුරින් ජාත්‍යන්තර පාසලක උගත් දරුවෙක් මේ දක්වා රටට දැයට වැඩදායී සේවයක් කර ඇති බවට වාර්තා වී නැත. එක්කෝ ඌ හොඳින් ඉගෙන ගෙන පිටරටකට තම සේවය ලබා දෙයි. නැත්නම් දොස්තර විභාගය සමත්ව රජයෙන් ද පඩිකමින් හවසට චැනල් වෙමින් විනාඩි කීපයකට දාස් ගාණකින් මුදල් ගසා කන්නෙකු වී සිටී. රට ත්‍රස්තවාදීන්ගෙන් බේරාගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවට බැඳුණු පුතෙක්, අවංක සිතෙන් දේශපාලනයට ආවේත්, දේශීයත්වය ඉහළ නංවන නිෂ්පාදනයක් වෙනුවෙන් කැපවුණු අයෙක් හෝ රට දැය නංවන චින්තනයක් අති ප්‍රශස්ත මට්ටමේ කලාකරුවෙක් සාහිත්‍යධරයෙක් මේ වනතෙක් ජාත්‍යන්තර පාසලකින් බිහි වූ බව ඔබ අසා තිබේද? එසේ අසා ඇත්නම් අපටත් දන්වන්න.

මෙවැනි දේ වීමට හේතුව දරුවාගේවත්, අධ්‍යාපන ක්‍රමයේවත් වරද නොව, ප්‍රධාන වශයෙන් දෙමාපියන්ගේ අමන තීරණ නිසා බව මෙය කියවූ පසුවවත් තේරුම් යන්නේ නම් හොඳය.

මිත්‍ර ශ්‍රී කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment