ඖෂධ අර්බුදයක් ඇති කරන මාෆියාව වළක්වන්න – GMOA රජයෙන් ඉල්ලයි

20

ඖෂධ ආනයනයේදී සහ ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියේදී යම් ඒකාධිකාරි බලයක් පවත්වාගෙන යන පිරිසක් විසින් ඖෂධ ගිවිසුම් අවභාවිත කිරීමෙන් රට තුළ ඖෂධ හිඟයක් සහ මිල පාලනය කිරීම සම්බන්ධ ගැටලු රැසක් මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ මොහොතේ රට තුළ පවතින ඖෂධ අර්බුදයට විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඇමැතිවරයාගේ මෙහෙයවීමෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය කාර්ය ඉටු කරනා අවස්ථාවක මෙලෙස ‘ඖෂධ මාෆියාව’ක නැඟී සිටීම තම සංගමය දැඩිව හෙළා දකින බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.

මෙම ගැටලුව විසඳීම සඳහා සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ඔබ්බට ගොස් ජනාධිපතිවරයා, පොලිසිය භාර ඇමැතිවරයා ඇතුළු පිරිසගේ අවධානය යොමු කළ යුතු බව ද කියා සිටි වෛද්‍යවරයා මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ අර්බුදයක් ඇති කිරීමට උත්සාහ කරන්නන් වළකාලිය යුතු බව ද අවධාරණය කර සිටියේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි විශේෂඥ වෛද්‍ය සවින් සේමගේ මහතාට ජීවිත තර්ජන එල්ල වීමත් ඔහු ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබීමත් ඖෂධ මාෆියාවේ ක්‍රියාත්මක වීම බලපා ඇති නිසා ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වහා පියවර ගත යුතුව ඇතැයි ද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

සුජීව තත්සර


advertistmentadvertistment