කටුගම්පලයාගම රජයේ යෝජිත රක්ෂිත වනාන්තරයේ දැවැන්ත වන සංහාරයක්

1

අනුරපුර අඩවි නිලධාරීහු තොරතුරකින් ජාවාරම්කරුවන් කොටු කර ගනිති

යෝජිත රක්ෂිත වනාන්තරවල ඇති විශාල ප්‍රමාණයේ ගස් කපා දමා එළි පෙහෙළි කර පිටස්තර පුද්ගලයන්ට අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ අනුරාධපුර අඩවි වන සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයට ලද තොරතුරකට අනුව අනුරාධපුර කටුගම්පලයාගම රජයේ යෝජිත රක්ෂිත වනාන්තරය තුළ සිදු කළ වැටලීමකදී දැවැන්ත වන සංහාරයක් සිදු කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු ඒ සඳහා යොදාගත් බැකෝ යන්ත්‍රයක් සමග අත්අඩංගුවට ගත් බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර, ගල්පොත්තේගම ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි එම ව්‍යාපාරිකයා සහ පුත්තලම් පාර සාලියවැව හන්දියේ පදිංචි 25 හැවිරිදි බැකෝ යන්ත්‍ර රියැදුරෙකි.

කටුගම්පලයාගම රජයේ යෝජිත රක්ෂිත වනාන්තරයේ දැවැන්ත වන සංහාරයක්

වන විනාශය සිදු කරමින් සිටි ස්ථානයට සූක්ෂම ලෙස ඇතුළු වූ වන සංරක්ෂණ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායම එම රක්ෂිතය, බැකෝ යන්ත්‍රයක් යොදාගෙන විනාශ කරමින් සිටියදීම මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම යෝජිත රක්ෂිතය අක්කර 1652 ප්‍රමාණයකින් සමන්විත අතර, වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් විසින් අක්කර දෙකකට වැඩි භූමි ප්‍රමාණයක සම්පූර්ණයෙන්ම ගස් කපා දමා විනාශ කර තිබූ බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මීට මාස හයකට පමණ පෙර ගුවන් හමුදාව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව ගුවනින් ගොස්, මෙම යෝජිත රක්ෂිතය තුළට ගුවනින් බීජ හෙලූ අතර, එම බීජ වලින් හට ගත් පැළ විශාල ප්‍රමාණයක්ද සැකකරුවන් විසින් විනාශ කර දමා තිබූ බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මල්වතු ඔය ආසන්නයේ පිහිටි ඉතා සංවේදී වන රක්ෂිතයක් වන මෙම ප්‍රදේශයට මෙලෙස හානි සිදු කිරීම තුළින් පරිසර සමතුලිතතාවයට දැඩි ලෙස බාධා සිදුවන කාරණාවක් බව වන සංරක්ෂණ උසස් නිලධාරියකු මෙහිදී පැවසීය.

කටුගම්පලයාගම රජයේ යෝජිත රක්ෂිත වනාන්තරයේ දැවැන්ත වන සංහාරයක්

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.

අනුරාධපුර දිස්ත්‍රික් අඩවි වන නිලධාරී සුමිත් සුවාරිස්, අතිරේක අඩවි වන නිලධාරිනි චින්තානි ගුණසේකර, බීට්ටු වන නිලධාරී එච්.වී.ඒ. ප්‍රියංකර, ක්ෂේත්‍ර සහකාරවරුන් වන සදීස නවගත්තේගම, චාමින් මදනායක, කමල් ඉදිරිසිංහ, උලුක්කුලම විශේෂ කාර්ය බළකා කඳවුරේ උප පොලිස් පරීක්ෂක කේ.ඒ.කේ.ආර්. චාමර, පොලිස් කොස්තාපල්වරුන් වන එච්.එම්.ආර්.කේ. හිඳගොඩ සහ එස්.ආර්.ඒ.සී. සමරතුංග යන නිලධාරීන් පිරිස මෙම වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment