‘ගෝඨා – රනිල් හවුල’ බිහි කළ ‘ටෙම්පල් ට්‍රීස්’ මෙහෙයුම

1351

ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දෙලොවක් අතරය. තමන් ආණ්ඩු පක්ෂයේද නැතහොත් විපක්ෂයේද බවවත් එජාප නායකයා නොදනී. එක පාර්ලිමේන්තු අසුනක් හිමි එජාපය පොහොට්ටුව මෙහෙයවන ආණ්ඩු කණ්ඩායමේ නායකත්වය දරයි. පාර්ලිමේන්තුවේ දී පොහොට්ටු පක්ෂයේ භීෂණකාරී හැසිරීම පිළිබඳව එම පක්ෂයෙන්ම පාර්ලිමේන්තුවට පත්වූ විමල් වීරවංශ (ජාතික නිදහස් පෙරමුණ) සහ වෛද්‍ය රමේෂ් පතිරණ කළ චෝදනා අතිශය බරපතළය. එජාප නායකයා පසුගියදා පාර්ලිමේන්තුවේ තමන් මුහුණ දෙන සැබෑ අභියෝගය පිළිගත්තේ එවැනි පසුබිමකය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නොසලකා කටයුතු කරන පොහොට්ටු පක්ෂයෙන් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තු වන සහයෝගය ලබා ගත හැකිද? පොහොට්ටුව විශ්වාස කළ හැකිද? ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පොහොට්ටුව රටම බලාපොරොත්තු වන දේශපාලන ස්ථාවරත්වයට එල්ල කරන ප්‍රබල අභියෝගය වටහාගත යුතුය. පතිරණ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කළ හෙලිදරව්වෙන් පසුව කිසිවකුට සැඟවීමට දෙයක් නොමැත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට දේශපාලන, ආර්ථික සහ සමාජීය ස්ථාවරත්වය ස්ථාපිත කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග වහා ගැනීමට දැඩිව බලපෑම් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ධූරය කෙසේ හෝ රැක ගැනීමට අරලියගහ මන්දිරය වියරුවෙන් ක්‍රියාත්මක කළ මෙහෙයුමයි.අරලියගහ මන්දිරය සහ පොහොට්ටු පක්ෂයේ ඉහළ නායකත්වය ගත් කුප්‍රකට ක්‍රියාමාර්ගය අවසන්වූයේ එජාප නායක ජාතික ලැයිස්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට අගමැති ධූරය නැවතත් හිමිකර දීමෙනි. ඒ හයවන වරටය.එජාප නායකයා ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකත්වයට පත්වීම ගෝඨාභය රාජපක්ෂට 2019 නොවැම්බර් ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් මිලියන 6.9 ඡන්දදායකයන් සහ 2020 අගෝස්තු මාසයේදී පොහොට්ටු පක්ෂයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ආසන්න බලයක් දුන් ජනතාව කිසිසේත්ම බලාපොරොත්තු වූ තත්ත්වයක් නොවේ. ඇත්ත වශයෙන්ම දේශපාලන විකෘතියකි.නමුත් වර්තමාන අර්බුදය ජයගැනීමට අවශ්‍ය නායකත්වය දීමට එජාප නායකයාට හැකියාවක් ඇති බව පිළිගත යුතුය. මෙහිදී අවධාරණය කළ යුතු වන්නේ අතිශය තීරණාත්මක මූල්‍ය අර්බුදය නිරාකරණය වනතුරු දේශපාලනික සහ සමාජීය ගැටලු සමථයකට පත් කළ නොහැකි බවයි.

පොහොට්ටු මෙහෙයුම සමස්ත අර්බුදය තවදුරටත් තිව්‍ර කිරීම සම්බන්ධයෙන් එජාප නායකයාට දොස් පැවරීම අසාධාරණය. භූමියේ තත්ත්වය තම වාසියට හරවාගැනීම පිළිබඳවද නව අග්‍රාමාත්‍යවරයාට චෝදනා කිරීම අසාධාරණය.නමුත් ශ්‍රී ලංකාව වර්තමාන අර්බුදයට පත් කිරීමට වඩාත් වගකිවයුතු පොහොට්ටු පක්ෂය තවමත් තම අශීලාචාර ක්‍රියාමාර්ගය වෙනස් කර නැත. නියෝජ්‍ය කථානායක ධුරය ආණ්ඩු පක්ෂයට ලබා ගැනීමට සහ ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමට විපක්ෂය ඉදිරිපත් කළ යෝජනාව කල් දැමීමට පොහොට්ටු පක්ෂය කටයුතු කළේය. පොහොට්ටු පක්ෂය තවමත් විනාශකාරී මාර්ගයක ගමන් කරන බව අවධාරණය කළ යුතුය.ශ්‍රී ලාංකීය දේශපාලන උඩු යටිකුරු කළ පොහොට්ටු මෙහෙයුම සමස්ත පාර්ලිමේන්තු ක්‍රමයම අවඥාවට ලක් කර ඇත. රටේ බල කණු තුන වන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය සොලවා ඇත. අස්ථාවර රටක බල හුවමාරුවකදී ඕනෑම තත්ත්වයක් උදාවිය හැකි බව අපට නැවතත් අවධාරණය කර ඇත.ඇත්ත වශයෙන්ම පොහොට්ටු මෙහෙයුම ක්‍රියාත්මක වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිවය. තිත්ත ඇත්ත එයයි.කෙසේ වෙතත් අරලියගහ මන්දිරය සහ පොහොට්ටු පක්ෂය අනුගමනය කළ ඉතාමත් අදූරදර්ශී දේශපාලන උපක්‍රමය නොවන්නට 73 හැවිරිදි වික්‍රමසිංහ නැවතත් අග්‍රාමාත්‍ය ධුරය හිමිනොවන්නට තිබිණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 145 ක් වූ මන්ත්‍රී කණ්ඩායමෙන් තුනෙන් එකකට ඉතාමත් ආසන්න ගණනක් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා තම ධූරය අතහැරිය යුතු බව ගත් දැඩි ස්ථාවරය අරලිගහ මන්දිරය ප්‍රතික්ෂේප කළේය. මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ඩලස් අලහප්පෙරුම ඉතාමත් කරුණාවෙන් කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප කළේය.වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නායකත්වය දුන් එම කණ්ඩායම මෙන්ම පසුව කැරැල්ලට එක්වූ පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමට අවශ්‍ය වූයේ නව අග්‍රාමාත්‍යවරයකු පත්කර ගැනීමටයි. ඒ අන්තර්වාර පාලනයකට ඉඩ සැලසීමටය. අරලියගහ මන්දිරය ඒ කිසිදු ඉල්ලීමකට යහපත් ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.පොහොට්ටු පක්ෂය අභ්‍යන්තරයෙන් ඇතිවූ විරෝධතාවය නොසලකා අරලියගහ මන්දිරය කටයුතු කළේය. බිම් මට්ටමේ පොහොට්ටු සාමාජිකයන් කණ්ඩායමක් මැයි 9 වන දින අරලියගහ මන්දිරයට කැඳවීම එම මෙහෙයුමේ කූටප්‍රාප්තිය විය. එහි ඍජු ප්‍රතිඵලය එක ජාතික ලැයිස්තු ආසන එකක් පමණක් හිමි එජාපයට අග්‍රාමාත්‍ය ධූරය හිමිවීමය. අරලියගහ මන්දිරය හිමිකර දීම යැයි පැවසුවත් වරදක් නැත.එම මෙහෙයුම සම්බන්ධයෙන් වීරවංශ මන්ත්‍රීවරයා මැයි 17 දින පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අතිශය ආන්දෝලනාත්මකය. පොහොට්ටු පක්ෂයට සහ එහි නායකත්වයට කළු පැල්ලමකි. අග්‍රාමාත්‍ය ධුරය රැකගැනීමට කිසිදා මෙයාකාරයෙන් කිසිදු දේශපාලන පක්ෂයක් හැසිරී නැත. පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් පොහොට්ටු මැර කණ්ඩායම මර්දනය කිරීමට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කිරීමට ගිය මෙහෙයුම ව්‍යර්ථ කළ බව චෝදනා කළේය. ඒ කාගේ වුවමනාවකටද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තෙන්නකෝන් නියෝජ්‍ය පොලිස්පතිවරයාට බලය යොදා පොහොට්ටු මැර කණ්ඩායම පලවා හැරීමට පෞද්ගලිකවම දුන් නියෝගය පොලිස්පති සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කළ මැදිහත්වීම තුළ ක්‍රියාත්මක නොවූයේ ඇයි ?හදිසි නීතිය ක්‍රියාත්මක තත්ත්වයක් යටතේ පොලිසිය සහ ආරක්ෂක හමුදා අකර්මණ්‍ය කරමින් දියත් කළ මෙහෙයුම විදේශීය මැදිහත් වීමකට පාර කැපීමක් බවට වීරවංශ මන්ත්‍රීවරයා චෝදනා කළේය. හිටපු ඇමැතිවරයා මෙහෙයුමේ මහමොලකරු ලෙස නම්කළේ සාටකයකින් සැරසී සිටින ‘කපුටෙකි.’ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක නීතිඥ උදය ගම්මන්පිල තම සහෝදර මන්ත්‍රී වීරවංශ මන්ත්‍රීවරයා සමඟ එකඟ විය.

පොහොට්ටු පක්ෂයේම අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයාගේ ඇතුළු ජීවිත ගණනාවක් බිලිගත් ප්‍රහාරවලට හේතු වූයේ එම පක්ෂය ඇති කළ තත්ත්වය නොවේද ? මෙම අසික්කිත ක්‍රියාවලියට සම්බන්ධ සියලුම පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් දිය යුතු බව වීරවංශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුවට නිශ්ශබ්දව සිටිය නොහැක.අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පොහොට්ටු පාක්ෂිකයන් එදින අරලියගහ මන්දිරයට එක්රොක් වීම සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයට අපූරු ශීර්ෂයක් යොදා තිබිණි. අරලියගහ මන්දිරයට රෝද බැඳගත් ජනතාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින පෙරවරුවේ කළ විශේෂ ප්‍රකාශය. අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට නිකුත් කළ 776 වැනි නිවේදනය රෝද බැඳගත් ජනතාව තම දේශපාලන නායකත්වයේ අවශ්‍යතාවය මත කළ විනාශය සුළුපටු නැත. අරලිගහ මන්දීර භූමියේ තත්ත්වය නිසියාකාරයෙන් වටහා ගත්තේ නැත. පාක්ෂිකයන් කණ්ඩායමක් අරලියගහ මන්දීරයේ රෝද බැඳගත්තේ කාගේ වුවමනාවටද?අරලියගහ මන්දිරයේ අවශ්‍යතාවය (අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ධූරය තව දුරටත් රැකගැනීම) 2020 අගෝස්තු මහමැතිවරණයේදී සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වූ එජාපයට නැවත ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකත්වය ලබා දීමෙන් අවසන් විය. පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස තමන්ට අග්‍රාමාත්‍ය ධුරය නිත්‍යානුකුලව ලබාගැනීමට තිබූ අවස්ථාව මගහැරීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි.සජබ නායකයා තමන්ට සහ තම තරුණ පක්ෂයට (මැතිවරණ කොමිසම එම පක්ෂය ලියාපදිංචි කළේ 2020 පෙබරවාරි මාසයේදීය) ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලබා දුන් අවස්ථාවට පයින් ගැසුවේ ඇයි? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සහ මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් කැබිනට් මණ්ඩලයට එරෙහිව ජනතාව මාර්තු 31 වන දින සිට කළ අරගලයට නායකත්වය දුන්නේ පෙරටුගාමී පක්ෂය බව අවධාරණය කළ යුතුය. ජවිපෙ ද සැලකිය යුතු වැඩ කොටසක් කළේය. සමගි ජන බලවේගයට සම්බන්ධ වෘත්තීය සමිති ඇතුළු කණ්ඩායම්ද ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට එරෙහිව සටනේ සිටියේය. නමුත් ජනතා සහභාගිත්වය නොමැතිව ඔවුන් බලාපොරොත්තු වූ තෙරපුම කිසිසේත් ලබාගත නොහැක. සති හයකට ආසන්න කාලයක් ක්‍රියාත්මක වූ ජනාධිපති සහ අගමැති බලයෙන් ඉවත් කිරීමේ මෙහෙයුම මැයි 09 දින පුපුරා හැරියේ අරලියගහ මන්දිරයයි. මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට ඉල්ලා අස්වීමට සිදුවූ අතර බලයට ඒමේ අවස්ථාව හිමිවූයේ සජබ නායකයාට බව ජනාධිපතිවරයාම ප්‍රකාශ කර ඇත. එතුමා ප්‍රතික්ෂේප කළ අවස්ථාව ලබාගත් එජාප නායකයා, තම බලය ස්ථාවර කර ගැනීමට ඉතාමත්ම වේගයෙන් කටයුතු කළ ආකාරය පොහොට්ටු පක්ෂය ඇතුළු අනෙකුත් පක්ෂ සහ කණ්ඩායම්වල අවධානයට ලක්විය යුතුය.

‘ගෝ ගෝඨා ගම’ ව්‍යාපාරය කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ප්‍රදර්ශනය කර ඇති ‘ගෝඨා-රනිල් අශුද්ධ හවුලට’ එරෙහි පෝස්ටර් ජනතාවට වර්ධනය වෙමින් පවතින දේශපාලන අවුල අවධාරණය කරයි. සජබ නායක සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ධූරය භාර ගත්තත් ‘ගෝ ගෝඨා ගම’ ව්‍යාපාරය අනිවාර්යෙන්ම ඊට එරෙහිව හඬනඟනු ඇත. එසේනම් එය ‘ගෝඨා-සජිත්’ අශුද්ධ හවුල ලෙස නම් කරනු ඇත.කවුරු කෙසේ කීවත් සර්ව ජන ඡන්ද අයිතිය වසර 90 කට පෙර ශ්‍රී ලංකාවට ලැබුණු පසුව රට මුහුණ දෙන බරපතළම අභියෝගය ජය ගැනීම ‘ගෝඨා – රනිල් අශුද්ධ හවුලට’ භාරවී ඇත.පාර්ලිමේන්තුවේ සිටින විපක්ෂය නියෝජනය කරන ජවිපෙ හැර සියලුම පක්ෂ ඇමැතිධුර නොගෙන නව අග්‍රාමාත්‍යවරයා ආර්ථිකය ශක්තිමත් කිරීමට රටට අහිතකර නොවන ක්‍රියාමාර්ගවලට සහයෝගය දීමට පොරොන්දු වී ඇත. රටේ ආර්ථිකය සමඟ කිසිදු දේශපාලන පක්ෂයක් සෙල්ලම් කළ යුතු නැත. දේශපාලන සෙල්ලම් භයානකය. අරලියගහ මන්දිරය කළ මෙහෙයුමට එරෙහිව එල්ල කළ බිහිසුණු ප්‍රහාරය සෑම මහජන නියෝජිතයෙක්ටම පාඩමකි. විධායකයටද අමතක නොවන පාඩමකි.වර්තමාන ආර්ථික – දේශපාලන – සමාජීය අස්ථාවරත්වය අගමැතිවරයාට ඔහුගේ ඉලක්ක ලබා ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර ඇති බව කිසිදු වාද විවාදයකින් තොරව කිව හැකිය.මැයි 09 වන දින අරලිගහ මන්දිරය ක්‍රියාත්මක කළ මෙහෙයුමට සංවිධානාත්මක ලෙස පොහොට්ටු මැති ඇමැතින් ඉලක්ක කර ප්‍රතිප්‍රහාර දීම සම්බන්ධයෙන් ජවිපෙට සහ එම පක්ෂයෙන් වෙන්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ප්‍රහාරයට ලක්වූ පොහොට්ටු මහජන නියෝජිතයන් කළ චෝදනා අතිශය බරපතළය. පාර්ලිමේන්තුවට මෙම චෝදනා සම්බන්ධයෙන් විමසීමක් නොකර සිටිය හැකිද ? පොහොට්ටු නායකත්වයට වීරවංශ මන්ත්‍රීවරයා කළ චෝදනා සම්බන්ධයෙන් කීමට ඇත්තේද එයමය.

ජාතික නිදහස් පෙරමුණේ නායක වීරවංශ පවසන්නේ තමා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය දේශබන්දු තෙන්නකෝන් මානව හිමිකම් කොමිසම ඉදිරියේ කළ හෙළිදරව්වක් බවයි. මානව හිමිකම් කොමිසමටද නිශ්ශබ්දව සිටිය නොහැක. ජාතික පොලිස් කොමිසම මෙන්ම මැතිවරණ කොමිසමද තම වගකීම් ඉටු කළ යුතුය.වීරවංශ මන්ත්‍රීවරයා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ආණ්ඩු පක්ෂයේ වෛද්‍ය රමේෂ් පතිරණ සම්පූර්ණයෙන්ම ස්ථිර කර ඇත. පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ එම ප්‍රකාශ දෙකම පාර්ලිමේන්තුවේදී මැයි 17 සහ 18 සිදු විය. තවදුරටත් පොහොට්ටු නායකත්වයට නිශ්ශබ්දව සිටිය නොහැක. ගාලු දිස්ත්‍රික්ක මන්ත්‍රී පතිරණ කළ ප්‍රකාශය අනුව පොහොට්ටු පාක්ෂිකයන් අරලියගහ මන්දිරයට කැඳවූයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වන මහින්ද රාජපක්ෂට සුබපැතීමටය. නමුත් ජනතාව කැඳවූ පසුව පොහොට්ටු පක්ෂය දුෂ්ට මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව හිටපු අමත්‍යවරයා ප්‍රකාශ කර ඇත.පොහොට්ටුවට මෙම චෝදනාවලින් කිසිසේත් ගැළවීමට නොහැකිය. සමස්ත පක්ෂ යාන්ත්‍රණය අපකීර්තියට පත්වී ඇත. පාර්ලිමේන්තු දේශපාලනය තුළ තව දුරටත් එම පක්ෂයට පිළිගැනීමක් නැත. ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී පොහොට්ටු පක්ෂයට ඡන්දය පාවිච්චි කළ ඡන්දදායකයෙක් ලෙස මෙම ලියුම්කරුට ඇත්තේ බලවත් පිළිකුලකි. එලෙසම විරෝධයකි. පොහොට්ටු පක්ෂය එහි පාක්ෂිකයන්ගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩ කර ඇත. ජනාධිපතිවරණයේදී පොහොට්ටු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන් මිලියන 6.9 ජනතාව ලැජ්ජාවට පත් කර ඇත. මහමැතිවරණය සම්බන්ධයෙන්ද කීමට ඇත්තේ එයමය. තුනෙන් දෙකකට ආසන්න පාර්ලිමේන්තු බලයක් ලබා ගත්තේ සමස්ත රටම අතිශය අදූරදර්ශී තීන්දු තීරණ ගැනීමෙන් හිඟමනට පත් කිරීමට දැයි ප්‍රශ්න කළ යුතුව ඇත.
 

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment