පරත්ථං පටිපජ්ජථ

1047

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨථම ශාස්තෘවරයා වන අප ගෞතම බුදු පියාණන් වහන්සේගේ චරිතය තුළ තිබූ පරමාදර්ශීම ගුණාංගය වනුයේ පරාර්ථකාමී බවයි. එම උතුම් ගුණාංගය තම ශ්‍රාවකයන්ට ද ඉගැන්වූ උන්වන්හන්සේ බුදු සසුන තුළ සංවර්ධනය විය යුතුම ගුණය ලෙස එය හඳුන්වා ඇත. ‘පරත්‍ථං පටිපජ්ජථ’ යනුවෙන් දැක්වෙන පරිදි එය නූතන සංඝ සමාජයට ද බෙහෙවින් වැදගත් ගුණයක් ලෙස දැක්විය හැකිය.

දිනෙන් දින සිදුවන සමාජ පරිහානිය හමුවේ ශාසනික පරිහානිය ද සිදුවී ඇති බව වත්මන් විවිධ සිදුවීම් ඔස්සේ මනාව සනාථ වන්නකි. එකී පරිහානිය හමුවේ බෞද්ධයන් වශයෙන් අප සිදුකළ යුතු බොහෝ යුතුකම් රාශියක් පවතී. ඒ සම්බුදු සසුන රැකගැනීම උදෙසාය. දුටුගැමුණු මහ රජු යුද වැදීමට පෙර ප්‍රකාශ කරනු ලැබුවේ ‘මගේ මේ ව්‍යායාමය සම්බුදු සසුන රැක ගැනීම සඳහාය’ යනුවෙනි. අතීත පාලකයන් එවැනි පරමාර්ථ මූලික කොටගෙන රට, ජාතිය, ආගම රැක ගැනීමෙහිලා දිවි පරදුවට තබා ක්‍රියා කළ බව පැරණි ඉතිහාසයෙන් අප දැන ඉගෙන ඇත. එහෙත් නූතන පාලකයන් තම බලය ලබාගැනීම පමණක්ම මූලික කරගෙන ක්‍රියා කරන හෙයින් ඔවුන්ට ශාසනයෙහි අගය ඔවුන්ට එතරම් දුරට වැටහී නොමැති වීම අපගේ අවාසනාවකි. සංඝ සමාජය තුළ ආත්මාර්ථය විවිධ කරුණු කාරණා මූලික කොටගෙන ව්‍යාප්ත වීම හරහා ප්‍රබල පරිහානියක් සිදුවී ඇති බව පුන පුනා කිවයුත්තක් නොවේ. විශේෂයෙන් දේශපාලනයට පැමිණීම හරහා භික්‍ෂුව කොතරම් පිරිහී තිබේදැයි අද වන විට මනාව සනාථ වන්නකි. විවිධ දේශපාලකයන් තම බලය රැක ගැනීම උදෙසා භික්‍ෂුව යොදාගත් අයුරුත් විවිධ වාසි ලබා ගැනීමෙහිලා භික්‍ෂුව ද පරාර්ථය පසෙකලා ආත්මාර්ථය මූලික කරගෙන ක්‍රියා කළ අයුරුත් නූතනයෙහි ක්‍රියා කරන අයුරුත් මනාව පෙනී යයි. මේ නිසා ශාසනික වශයෙන් ඇතිවී ඇති පරිහානිය සුළු පටු නොවන්නකි. මෙහි ඇති අවාසනාවන්තම සිදුවීම වනුයේ පසුගිය අරගල සමය තුළ විවිධ මතිමතාන්තර දරන ඇතැම් භික්‍ෂූන් වහන්සේලා මේ බෞද්ධ රට අනාගමික රාජ්‍යයක් බවට පත්කළ යුතුය යන්න ප්‍රකාශ කිරීමයි. සමාජවාදී අදහස් දරන එවැනි පුද්ගලයන් සිදුකරන අගතිය නිසා අද වනවිට ශාසනයට එල්ල වී ඇත්තේ බොහෝ අභියෝගයන්ය. එපමණක් නොව ආත්මාර්ථය මුල්කොට ගත් සමහර භික්‍ෂූන් වහන්සේලා පන්සල් ආක්‍රමණය කරනු ලබන්නේ නොමැරෙන්නාක් මෙන්ය. නිකාය ආදී විවිධ භේදයන් මුල්කොට එය කර මත තබාගෙන ගිහියන්ටත් වඩා ආත්මාර්ථකාමීව ක්‍රියා කරන අයුරු දෙස බලන විට ඇති වන්නේ කලකිරීම පමණි. පන්සල් – පන්සල් නඩු කියාගන්නා තරමටම ආත්මාර්ථය ව්‍යාප්ත වී ඇති සමාජ පරිසරයක මිනිසාට එය වටහා දෙන්නේ කෙසේදැයි සිතා ගැනීමට පවා නොහැකිය.

ඇතැම් විහාරස්ථාන තුළ තරුණ භික්‍ෂූන්ට ඉදිරියට ඒම සඳහා කෙසේවත් ඉඩ අවකාශ සලසන්නේ නැත. කෙසේ හෝ ඉහළට ගියහොත් බිමට ඇද දැමීමට ක්‍රියා කරන අයුරු අප බොහෝ සෙයින් දැක ඇත. එවැනි අධම ගති භික්‍ෂුවකට කෙසේවත් නොගැළපෙන අතර මූලික විය යුතු ගණාංගය වනුයේ පරාර්ථයයි. ඇතැම් ගුරුවරුන් ද තම ගෝලයන්ට සලකනු ලබන්නේ ආත්මාර්ථය මුල්කොට ගෙනය. තමන්ට වඩා ඉදිරියට යෑමට කෙසේවත් ඉඩ නොදෙන අතර කෙසේ හෝ එම ගමන වැළැක්වීමට ක්‍රියා කරති. විහාරස්ථානය තුළ ප්‍රධානියාට වඩා අනෙක් භික්‍ෂුව ප්‍රසිද්ධියට පත්ව ඉදිරියට ගියහොත් හෝ දායක දායිකාවන් කුළුපග වුවහොත් එය කෙසේවත් බලා සිටීමට නොහැකි ඇස්වල කටු අනින සිදුවීමකි. මේ නිසාම අද පන්සල් පාළු වී ඇත. එයට මුල්වී ඇත්තේ තරුණ භික්‍ෂූන් වහන්සේලා විවිධ කලකිරීම් ඔස්සේ උපැවිදි වීමයි. මෙකී බොහෝ අර්බුද හමුවේ ප්‍රධානම සාධකය වනුයේ ඇතැම් භික්‍ෂූන් තුළ පරාර්ථය නොමැති වීමයි. එහෙත් සමහර භික්‍ෂූන් වහන්සේලා තම ගෝලයන්ට දෙමාපියන් මෙන් සලකන අයුරු අප දැක ඇත.

එවැනි චරිත සැබැවින්ම බුද්ධ වචනයට අනුගතව ක්‍රියා කරන පරමාදර්ශී උතුමන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ නිසා ශාසනය රැක ගැනීමේ අභියෝගය හමුවේ මෙම උතුම් ගුණාංගය අතිශය වැදගත් වනු ඇත. බොහෝ පන්සල් පාළු වී ගොඩනැඟිලි පමණක් ඉතිරි වීමට මෙකී සාධක මුල්වී ඇති බව රහසක් නොවන අතර මීට වඩා අවබෝධය භික්‍ෂු චරිතය තුළ ගොඩනැඟිය යුතුය. තමා පසුකරගෙන යෑමට යමකුට හැකි වේ නම් ඒ දෙස බලා සතුටු විය යුතු වුවත් එකී ගුණාංගය අල්ප නිසා විවිධ අර්බුධ සමාජය තුළ ගොඩනැඟී ඇත. ගොඩනැඟිලි පමණක් ඉදිකර විහාරස්ථාන කොන්ක්‍රීට් වනාන්තර බවට පත් කිරීමට ඇතැම් ප්‍රධානීන් ක්‍රියා කිරීම නිසා ඉදිරි පරම්පරාවක් නිර්මාණය කිරීම සිහිනයක් බඳුය. මෙම ශාසනික විනාශය ඔස්සේ අප මීට වඩා අවබෝධයෙන් ක්‍රියා කිරීම මෙන්ම පරාර්ථකාමී සිතුවිලි ඔස්සේ ඉදිරියට ගමන් කිරීම බෙහෙවින් වැදගත්ය. නොමැතිනම් සිදුවන්නේ විනාශයම පමණි. එය කෙසේවත් වැළැක්විය නොහැකි බව අද සිට හෝ සිහිකිරීම බෙහෙවින් වැදගත්ය.

දර්ශනපති කනංකේ විජිතනන්ද හිමි

සංස්කරණය – නිශාන්ත අමරසිංහ
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment