කටුනායක විශාලම රත්‍රං වැටලීම කළ රේගුවේ 5 ක් මාරු කිරීමේ සූදානමක්!

840

මෙරට විශාලතම රත්‍රං වැටලීම ඇතුළු මත්ද්‍රව්‍ය වැටලීම් රාශියක් සිදු කළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ දක්‍ෂ නිලධාරීන් පිරිසක් හිටි හැටියේම මාරුකර යැවීමට අදිසි හස්තයක් ක්‍රියාත්මක වී ඇති බව රේගු ආරංචිමාර්ග පවසයි.

කිසිම චෝදනාවක් එල්ල වී නැති රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ රේගු අධිකාරිවරයකු සහ සහකාර රේගු අධිකාරිවරුන් සිව්දෙනකු මේ ආකාරයට හිටි හැටියේම මාරු කර යැවීමට සූදානම් වන බවට තොරතුරු අනාවරණය වී ඇත.

පසුගියදා කටුනායක ගුවන්තොටුපොළේදී මිලියන 400 ක් වටිනා නීති විරෝධී රත්‍රං තොගය අත්අඩංගුවට ගනු ලැබුවේද මෙම රේගු නිලධාරීන් පිරිස බව ආරංචිමාර්ග පවසයි. ඊට අමතරව මෙරට ඉතිහාසයේ විශාලතම තහනම් රත්‍රං තොගයද රුපියල් මිලියන 600 ක් වටිනා රත්‍රං කිලෝ 26 ක් 2021 වර්ෂයේදී අත්අඩංගුවට ගනු ලැබුවේද මෙම නිලධාරින් පිරිස විසිනි. පසුගිය මාස කීපයේදී කටුනායක ගුවන් තොටුපොළේදී කොකේන්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය වැටලීම් 6 ක් මෙම නිලධාරීන් විසින් සිදු කර තිබිණි.

මනා පළපුරුද්දක් ඇති දක්‍ෂ නිලධාරීන් පිරිසක් හිටිහැටියේම මෙසේ මාරුකර යැවීම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයට පිරිමැසිය නොහැකි පාඩුවක් බවද රේගු ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

කිසිම දූෂණ චෝදනාවක් හෝ වැරැද්දක් නොමැති නිලධාරීන් මේ ආකාරයට මාරුකර යැවීම පිළිබඳව බලධාරීන්ගේ දෑස් යොමු විය යුතු බවද රේගුව පෙන්වා දෙයි. නිලධාරියකු මාරු කර යැවීමට කටයුතු කරන්නේ නම් මාස 3 කට පෙර ඒ පිළිබඳව එම නිලධාරියා දැනුවත් කර විමසීම් කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි. එහෙත් කලින් දැනුම් දීමකින් තොරව මේ ආකාරයට නිලධාරීන් මාරුකර යැවීම පිටුපස කිසියම් බලපෑමක් ක්‍රියාත්මක වන්නේදැයි රේගු ආරංචිමාර්ග සැකකරයි.

හේමන්ත රන්දුණු


advertistmentadvertistment