කඩු පහර කෑ සගයාට ඉක්මනින් බෙහෙත් නොකළැයි රෝහල් සේවකයාට ප්‍රින්ටරයකින් ගහලා

457

රෝහල් සේවකයන්ට දැඩි ආරක්ෂාවක් ඕනෑ
වෛද්‍ය සංගමය උතුරු ආණ්ඩුකාරවරියට කියයි

යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට මහ රාත්‍රියේ යතුරුපැදියකින් කඩාවැදුණු තරුණයන් දෙදෙනකු රෝහල් සේවකයෙකුට පරිගණක මුද්‍රණ යන්ත්‍රයකින් හිසට පහරදීම නිසා ඔහු බරපතළ ලෙස තුවාල ලබා පෙරේදා (28 දා) රාත්‍රී රෝහල් ගතකොට තිබේ.

යතුරුපැදියෙන් රෝහලේ හදිසි අනතුරු වාට්ටුව තුළටම පැමිණි තරුණයන් දෙදෙනා අධික ලෙස බීමත්ව සිට ඇති අතර යතුරුපැදිය පදවාගෙන ආ පුද්ගලයා ප්‍රකාශ කොට ඇත්තේ තමන් සමග සිටින අනෙක් තැනැත්තා කඩු ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටින බැවින් ඔහුට ඉක්මනින් ප්‍රතිකාර කළ යුතු බවයි.

ඒ ගැන රෝහල් සේවකයකු ප්‍රශ්න කිරීමත් සමගම රෝහලේ පරිගණකයට සවිකොට තිබූ මුද්‍රණ යන්ත්‍රය ගලවා ඉන් එම රෝහල් සේවකයාගේ හිසට පහර දී තිබේ. මේ කලබලය නිසා සෙසු සේවකයන් පැමිණ ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔවුන් පැමිණි යතුරුපැදියෙන්ම පලාගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව රෝහලේ හා නගරයේ සී.සී.ටී.වී. කැමරා පද්ධති පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව යතුරුපැදියත් සමග එම තරුණයන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ සංගමය උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වෙත ලිපියක් යවමින් රෝහල් සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව වහාම සහතික කරණ ලෙස ඉල්ලීමක් කොට තිබේ. යාපනය ශික්‍ෂණ රෝහල තුළට කඩාවදින බාහිර පුද්ගලයන් රෝහල් සේවකයන්ට ප්‍රහාර එල්ල කිරීම මෑතක සිට වැඩි වී ඇති නිසා සේවක සේවිකාවන්ට දැනට පවතින ආරක්ෂාවට වඩා දැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව වෛද්‍ය සංගමය විසින් ආණ්ඩුකාරවරියට යවන ලද ලිපියේ සඳහන් කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment