කතාවෙන් නොව ක්‍රියාවෙන් දේශය වෙනුවෙන් පෙළ ගැසෙමු

1684

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමත් සමග ශ්‍රී ලංකාව නව යුගයක එළිපත්තට පැමිණ සිටී. විනිවිදභාවය, වගවීම සහ ජාතියේ සමෘද්ධිය සඳහා ප්‍රමුඛත්වය දෙන රජයක් සඳහා කැඳවුම් කරමින් ලොව පුරා සිටින ශ්‍රී ලාංකික විදේශිකයන් මෙම පරිවර්තනීය වෙනස සඳහා ප්‍රබල ලෙස සහාය පළ කර ඇත. කෙසේ වෙතත්, දශක හතරක පමණ කාලයක් තිස්සේ විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයකු ලෙස මා දකිනුයේ, මෙම ව්‍යාපාරයට සහය දුන් අයගෙන් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම වෙනස ඇති කිරීමට ප්‍රායෝගික උපකාරයක් ලබා නොදී, එය වචනයට පමණක් සීමා කර ඇති බවයි.

උදාහරණයක් ලෙස, බොහෝ අය මුදල් එවන්නේ ශ්‍රී ලංකාවේ සිටින තම ඥාතීන්ට හෝ මිතුරන්ට පමණක් වන අතර, රටේ ආර්ථිකය නඟාසිටුවීමට එය පමණක් ප්‍රමාණවත් නොවේ. පවුලට සහයෝගය දැක්වීම වැදගත්වන නමුත් පෞද්ගලික අරමුණුවලින් ඔබ්බට ගොස් පුළුල් අරමුණු සඳහා දායක වීම අත්‍යවශ්‍ය වේ. අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, දරිද්‍රතාවය පිටුදැකීම හෝ ප්‍රජා සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන සමාජ සේවා ආයතන හෝ සංවිධාන වෙත ආධාර කිරීම මගින් ඔබට ශ්‍රී ලංකාවේ අනාගතයට වඩා විශාල බලපෑමක් කළ හැකිය.

ඊට අමතරව, ලංකාවට භාණ්ඩ යැවීමේදී නිසි රේගු රෙගුලාසි අනුගමනය කිරීම සහ අවශ්‍ය තීරුබදු ගෙවීම ඉතා වැදගත් වේ. බොහෝ පුද්ගලයන් ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ යවන්නේ ඒවා පිළිබඳ සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමෙන් තොරව හෝ නියමිත රේගු බදු නොගෙවයි. නිදසුනක් වශයෙන්, නිවාඩු සඳහා ආපසු පැමිණෙන සමහර විදේශගත ශ්‍රී ලාංකිකයන් අවසර ලත් සීමාවන් ඉක්මවා අධික ලෙස මත්පැන්, දුම්වැටි රැගෙන එන අතර අවශ්‍ය රේගු ගාස්තු ගෙවීමෙන් ද වැළකී සිටිති. මෙම ක්‍රියාවන්ද දූෂණයක් වන අතර, එමගින් රටට විශාල ආදායමක් අහිමි වේ. ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමට අප අවංකවම සහාය දක්වන්නේ නම්, ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කරන විට කිසිවකුට ගෙවිය යුතු මුදල් හෝ අල්ලස් නොගෙවිය යුතු බව විදේශගත වූවන් තේරුම් ගැනීම වැදගත්ය. එවිට, රාජ්‍ය හෝ පුද්ගලික සේවයක් ලබා ගැනීමට අල්ලස් ලබා නොගැනීමට සේවකයන් පෙළඹේ.

රේගු නීතිවලට අනුකූලව සහ සුදුසු තීරුබදු ගෙවීමෙන්, ඔබේ සහයෝගය නීත්‍යානුකූල සහ තිරසාර ආකාරයකින් ශ්‍රී ලංකාවට ලබාදෙන බවට සහතික විය යුතුය.

අපි වචනවලින් ඔබ්බට ගොස් මෙම පරිවර්තනයට සැබවින්ම සහයෝගය දැක්වීමට කාලය දැන් එළඹ ඇත. ඔබට රට තුළ සැබෑ වෙනසක් ඇති කළ හැකි ප්‍රධාන ක්‍රම කීපයක් පිළිබඳව මම සඳහන් කිරීමට කැමැත්තෙමි.

  1. ඔබේ ශ්‍රී ලංකා පුරවැසිභාවය නැවත ලබා ගන්න.

විදෙස්ගතව සිටින බොහොමයක් ශ්‍රී ලාංකිකයෝ ද්විත්ව පුරවැසි ගාස්තුව ගෙවීමට මසුරුකමක් දක්වති. නමුත්, මෙම මානසිකත්වය වෙනස් කිරීමට කාලය එළඹ ඇත. ඔබ ශ්‍රී ලංකා පුරවැසිභාවය නැවත ලබා ගැනීමට අවධානය යොමු කරන්න. ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම යනු ශ්‍රී ලංකාව කෙරෙහි ඔබේ කැපවීම යළි තහවුරු කිරීමේ වැදගත් පියවරක් වන අතර එයට ගෙවිය යුතු ගාස්තුව සැලකිය යුත්තේ ජාතියේ අනාගතය සඳහා කරන ආයෝජනයක් ලෙස මිස ඔබට බරක් ලෙස නොවේ. එය රටේ පරිවර්තනයට අර්ථවත් ලෙස දායක වීමේ අවස්ථාව සඳහා ගෙවිය යුතු ඉතා කුඩා මිලකි.

  1. ශ්‍රී ලංකාවට නීත්‍යානුකූලව මුදල් යැවීම

මුදල් මාරු කිරීම සඳහා “හවාලා හෝ උණ්ඩියල්” වැනි නීති විරෝධී ක්‍රම කිසි විටෙකත් භාවිතා නොකර, නීත්‍යානුකූල සහ විනිවිද පෙනෙන බැංකු පද්ධති හරහා මුදල් එවීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට සහ රටේ සංවර්ධනයට දායක විය හැකිය.

  1. ගෞරවනීය සේවයක් ලෙස සලකා ඔබේ දැනුම සහ කුසලතා බෙදාහදා ගැනීම

ශ්‍රී ලාංකික විදේශිකයන්ට විදේශයන්හි සේවය කිරීමෙන් ලබාගත් දැනුම, කුසලතා සහ ප්‍රවීණතාවයන් රාශියක් ඇත. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, කෘෂිකර්මය, තාක්ෂණය සහ පාලනය වැනි ක්ෂේත්‍ර නඟාසිටුවීමට රජයට හෝ වෙනත් සංවිධානවලට ගරු සේවයක් ලෙස ඔබේ දැනුම ලබා දෙන්න. එය ඔබේ මාතෘභූමියේ අනාගතය සඳහා ශක්තිමත් පදනමක් ගොඩනැඟීමට ඉවහල් වේ.

  1. දේශීය සමාජ සේවා සංවිධානවලට සහය වන්න

විශේෂයෙන්ම සෞඛ්‍ය, අධ්‍යාපනය නඟාසිටුවීමට, දරිද්‍රතාවය පිටුදැකීම සහ ආපදා සහන ලබා දීම සඳහා කැප වී වැඩ කරන රාජ්‍ය නොවන සංවිධාන ශ්‍රී ලංකාවේ බොහෝ ඇත. ඒවාහි ක්‍රියකාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යෑමට දායකත්වය ලබා දීමෙන් බොහෝ දෙනකුගේ ජීවිතවල විශාල වෙනසක් ඇති කළ හැකිය.

  1. ලංකාවේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් සහ සේවාවන්ගෙන් ප්‍රතිලාභ ලැබූ සහ සැලකිය යුතු ධනයක් රැස්කරගත් බොහෝ පිරිසක් විදේශයන්හි සිටී. ඔවුන් සංවර්ධිත රටවල පමණක් ආයෝජනය කිරීම වෙනුවට ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට, කෘෂි ව්‍යාපාර අලුතින් ආරම්භ කර කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට, පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනයට, සංචාරක ව්‍යාපාරය නඟාසිටුවීමට, තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් සේවා වැඩිදියුණු කිරීමට, අධ්‍යාපනයට සහ වෘත්තීය පුහුණු සඳහා නිෂ්පාදන සහ අපනයන – අභිමුඛ කර්මාන්ත වෙනුවෙන්, තරුණ ව්‍යවසායකයන්ව දිරිමත් කිරීමට සහ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතුය.

මැදපෙරදිග සිටින වෙහෙස මහන්සි වී වැඩ කරන ශ්‍රී ලාංකිකයන් දෙස බලන්න. ඔවුන් තම ඉපැයීම් ගෙදර යවා ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කර රට වෙනුවෙන් විශාල සේවයක් කරයි. නමුත් ඔබ එසේ කරනවාද? ඒ පිළිබඳව මදක් සිතා බලන්න.

  1. තරුණ පරම්පරාවට උපදේශන ලබා දීම සහ මඟපෙන්වීම

ශීඝ්‍රයෙන් වෙනස් වන ලෝකයක සාර්ථක වීමට, බොහෝ තරුණ ශ්‍රී ලාංකිකයන්ට මඟපෙන්වීම සහ උපදේශනය අවශ්‍ය වේ. අනාගතය සඳහා තීරණාත්මක වන අභියෝග භාර ගැනීමට සහ කුසලතා වර්ධනය කිරීමට සිසුන්ට හෝ තරුණ වෘත්තිකයන්ට, ඔබ විදේශයන්හි දී ලබා ගත් දැනුම සහ කුසලතා ලබා දෙන්න. අනාගතයේ දී ශ්‍රී ලංකාව තුළ හොඳ නායකයන් බිහිකිරීමට එය උපකාරී වේ.

  1. ශ්‍රී ලංකාව සඳහා නිල නොලත් තානාපතිවරයකු වන්න

ඔබේ සත්කාරක රට තුළ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, නිෂ්පාදන සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න. ජාතියේ වර්ධනය සඳහා ගෝලීය ආධාරක ජාලයක් නිර්මාණය කිරීමට උපකාර කරමින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ජාත්‍යන්තර ව්‍යාපාර සහ ආයෝජකයන් දිරිමත් කරන්න.

  1. ශ්‍රී ලංකාවේ තිබෙන ඔබේ වත්කම් විකිණීම නවත්වන්න

ඔබට අයත් ඉඩම්, නිවාස සහ ව්‍යාපාර වැනි ශ්‍රී ලංකාවේ වත්කම් විකිණීම සහ එම මුදල් විදේශයන්හි ගෙන්වා ගැනීම නවත්වන්න. ඒ වෙනුවට එම මුදල් ලංකාවේම ආයෝජනය කර, රටේ ආර්ථිකය පිරිහීමට වඩා ශක්තිමත් කිරීමට දායක වෙමු.

  1. ලංකාවේ සිදුවන දේ පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින්න

පරිවර්තනය එක රැයකින් සිදු නොවන අතර ඒ සඳහා අඛණ්ඩ සහාය අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික වර්ධනයන් පිළිබඳව ඔබ දැනුවත්ව සිටින්න. කාලයත් සමග රට ගැන අවධානයෙන් සිටීම ඔබෙන් ගිලිහී යන්නට නොදී විදේශයන්හි සිටින සියලුම දෙනා සමග එකට එක්ව ක්‍රියාකාරීව මෙම වෙනස ඇති කිරීමට සහය විය යුතුය.

ක්‍රිකට් තරගයක් පවතින අවස්ථාවක ජයග්‍රහණයේදී සතුටු වීමටත් පරාජයේදී විවේචනය කිරීමටත් ඔබ සියලු දෙනා එක්ව සිදු කරයි. නමුත් රට ගැන අවධානය යොමු කිරීමේදී හුදෙක් ප්‍රේක්ෂකයන් පමණක්ම නොවී රටේ ආර්ථිකය ගොඩනැඟීමට ඔබේ සක්‍රීය දායකත්වය ලබා දෙන්න.

  1. සාධාරණ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින්නා

ශ්‍රී ලංකාව තුළ ප්‍රගතිශීලී ප්‍රතිපත්ති සංවර්ධනය කිරීමට උදවු කරයි.

නිගමනය

ශ්‍රී ලංකාවේ වෙනසක් සඳහා පැහැදිලි හා විශාල හඬක් මේ වන විට පැනනැඟී ඇත. නමුත් කතා කිරීමෙන් පමණක් අප සියලු දෙනා බලාපොරොත්තු වන පරිවර්තනයක් ඇති නොවේ. එනිසා, ශ්‍රී ලාංකීය විදේශිකයන් වශයෙන්, අපගේ මව්බිමේ අනාගතයට සැලකිය යුතු දායකත්වයක් සැපයීමට අප සුවිශේෂී ස්ථානයක සිටිමු. අපි විවේචනයෙන් ඔබ්බට ගොස් විසඳුමේ කොටසක් බවට පත් වෙමු. නැවත පුරවැසියන් බවට පත්වීමෙන්, නීත්‍යානුකූල මාර්ග හරහා මුදල් යැවීමෙන්, අපගේ දැනුම බෙදාගැනීමෙන්, සමාජ සේවා ආයතනවලට සහය දීමෙන් සහ රටේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීමෙන්, අප සැවොම සිහින දකින ශ්‍රී ලංකාව ගොඩනැඟීමට අපට උපකාර කළ හැකිය. නව රජයේ සහ සමස්ත ජාතියේ සාර්ථකත්වයට සක්‍රීයව දායක වීමට කාලය පැමිණ තිබේ. ඔබ කතාවෙන් පමණක් ඉදිරිපත් කරන අදහස් හා යෝජනා සැබවින්ම ඔබ විසින් ක්‍රියාවට නංවනවා දැයි මදක් සිතා බලන්න. “අනුන්ගේ දෙනෙතේ කෙන්ද දකින්නට පෙර තමන්ගේ දෙනෙතේ කන්ද දකිනු මැන”.

කතාවෙන් නොව ක්‍රියාවෙන් දේශය වෙනුවෙන් පෙළ ගැසෙමු

ශ්‍රී ලංකා ටෙලිකොම් හිටපු සමූහ ප්‍රධාන විධායක
ලලිත් ද සිල්වා
[email protected]
(වෙනසට නායකත්වය දෙන්න ව්‍යාපෘති කණ්ඩායම)


advertistmentadvertistment