ඕජස් ගලන කුණුගොඩවල් ජනතාවට හොරෙන් කවන කොළඹ වරායේ ඩිස්ට්‍රෝයි ත්‍රස්තවාදය

425

හෘදයාබාධ, පිළිකා, අධි රුධිර පීඩනය, ගැස්ට්‍රයිටීස් සහ වකුගඩු ආබාධ ආදී වශයෙන් විවිධ ආකාරයන්ගෙන් මතුවන බෝ නොවන රෝග රැසකට දිනෙන් දින ගොදුරු වෙමින් රටේ ජනතාව අද ඉතා ඛේදනීය අවාසනාවකට මුහුණ දී සිටිති. එය කොතරම් බරපතළ එකක් වී තිබේද යත් මේ වන විට කිසියම් රෝගයක් සඳහා දෛනිකව ඖෂධයක් ලබා නොගන්නා අයකු සොයා ගැනීමට නොහැකි තරමටම සියල්ල ඔඩු දුවා ඇත.

එක් ඖෂධයක් නොව, දිනපතා උදෑසන ආහාරයෙන් පසු ඖෂධ අහුරුපිටින් ගිල දමන්නෝ දැන් මෙරට සමාජයේ ඉතා බහුලය. ඔවුහු එලෙස ඖෂධ ගිල දමනුයේ රෝග සුවය සඳහාද? නැත. වැඩි පිරිසක් අකමැත්තෙන් වුවද එසේ කරනුයේ රෝග පාලනය පිණිසය.

සාමාන්‍යයෙන් මිනිස්සු කිසියම් රෝගයකදී සුවය ලබා තවදුරටත් ජීවත් වීම සඳහා ඖෂධ ලබා ගනිති. එහෙත් ශ්‍රී ලංකාවේ තත්ත්වය එයට වඩා වෙනස්ම වූ එකකි. වර්තමානයේ මෙරට ජනතාව ජීවත් වන්නේ බෙහෙත් බීමටය. බත්, පාන්, මස් සහ මාළු වෙනුවට අද මෙරට අති බහුතරයකගේ නිල නොවන ප්‍රධාන ආහාරය බවට පත්ව ඇත්තේ එක එක වර්ණයන්ගෙන් යුතු පෙති සහ කරල්ය.

රටේ බහුතරයකට නිදුක් නිරෝගී සාමකාමී සුවපත් ජීවිතයක් උරුම වී නැත. ඔවුහු දහසකුත් වේදනාබර අත්දැකීම් සමග මාරයා සමග වාසය කරන්නාක් බඳු ජීවිත ගතකරමින් සිටිති.

මෙවැනි තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ ඇයි? එයට හේතු වී ඇත්තේ දැන දැනම ? දුරු මිරිස් බිඳේ සිට සෑම ආකාරයකින්ම ආහාර ලෙස මාරාන්තික වසවිෂ ගිල දැමීමට ජනතාවට සිදුව තිබීමය. ගිලින්නේ වස බව සැවොම දනිති. එහෙත් දැන දැන ගිල දමනවා හැර කිසිවකුටත් වෙන කරන්නට දෙයක්ද නොවෙති.

වර්තමානයේ මෙරට තුළ ආහාරයට ගන්නා මිරිස් තුනපහ ටික වර්ණ ගැන්වෙන්නේ කෘත්‍රිම වර්ණකවලිනි. දරුවන් ආශාවෙන් අනුභව කරන පරිප්පු ඇටය තැඹිලි පැහැයට හැරෙන්නේ වර්ණක යෙදීමෙනි. ගම්මිරිස් ඇටයට සැර ලැබෙන්නේ ද, කිරි ටික මිදෙන්නේ ද, නැවුම් කිරි ලෙස පැකට් කළ කිරි අපට ලැබෙන්නේ සහ පොල්තෙල් ටික මුළුතැන්ගෙට එන්නේද මාරක වස විෂ සමගිනි.

මේ අතරේ අඹ, ගස්ලබු, කෙසෙල්, දොඩම්, අලිගැටපේර, ඇපල් සහ මිදි පොකුරේ සිට සියලුම පළතුරු ජනතාවට ලැබෙනුයේ කඩිනමින් ඉදවා ගැනීමට සහ නරක් නොවී කල්තබා ගැනීම පිණිස එකතු කළ විවිධ මාරාන්තික රසායන සමගය. මිනිසුන් ආහාරයට ගන්නා එළවළු ටිකට මාළු කෑල්ලට අත්වී තිබෙන්නේ ද මේ ඉරණම ය.

මේ වන විටත් මෙකී දුෂ්ට භාවිතාව රටත්, සමස්ත ජාතීනුත් ලෙඩකර වනසා දමන තැන දක්වා ගමන්කර තිබුණද ඒ පිළිබඳ සොයා බලන්නට කිසිවකුත් නැත. සැබැවින්ම සිදුව තිබෙන්නේ කිසිවකුත් නොමැති වීම නොව සිටින උන් කළ යුතු දේ නොකර සිටීමය.

මේ සම්බන්ධව ක්‍රියාත්මක වීමට රාජ්‍ය ආයතන පැවතිය ද ඒවායේ සිටින නිලධාරීහු නිහඬය. පවතින ක්‍රමය තුළ මාරයා තමන්ගේම දොරකඩට පැමිණෙන තත්ත්වයක් පැවතියද ලැබෙන කිසියම් ගතමනාවක් ඉදිරියේ ඔවුන් එසේ නිහඬ වනවා විය හැකිය.

මෙරට රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය ඉතා දූෂිත බව ප්‍රකට කරුණක්ව තිබෙන්නකි. එම තත්ත්වය තුළ මුදල ඉදිරියේ ජනතාවට වස කවා මිනී මරණ නින්දිත මාෆියාවක් ඇස්පනාපිට තිබියදීත් වගකිවයුත්තන් නිදා සිටීම පුදුමයට කාරණයක් ද නොවේ.

මෙසේ වස විෂ ආහාරවලට එක් කිරීම යනු කාලාන්තරයක් තිස්සේ මෙරට තුළ ක්‍රමයෙන් වර්ධනය වූවකි. එකී කාලය පුරාවටම මේ රට පාලනයට පැමිණි බොහෝ අය වූහ. වස කවා ජනතාව මරමින් කටයුතු කරන්නා වූ මෙම කුප්‍රකට වෙළෙඳ මාෆියාවේ අති බහුතරය යනු දේශපාලනඥයන්ගේ ගැත්තන් වූ කුක්කෝ වූහ.

කොළඹ පිටකොටුවේ සිට රට පුරා ඇති ප්‍රධාන වෙළෙඳ නගර ගෙන බැලීමේදී ද මහා පරිමාණයෙන් ආහාර ද්‍රව්‍ය ව්‍යාපාරවල යෙදෙන ව්‍යාපාරිකයන්ගේ සිට පෙට්ටි කඩේ මුදලාලිලා දක්වා වූ ඇති උන් ඒ තැන්වල සිටිමින් වැජඹෙන්නේ ද දේශපාලනඥයන්ගේ ආධාරය ඇතිවය.

රට පුරා ඇති පළතුරු තට්ටු, එළවළු කඩ ආදී වශයෙන් විවිධ ව්‍යාපාර ගෙන බැලීමේදී එම තත්ත්වය හොඳින් පැහැදිලි වනු ඇත. එසේ දේශපාලන අනුහසින් වැජඹෙන නිසා එකී ව්‍යාපාරික මාරයන් කුමන තුප්පහි වැඩක් කළද පාලකයෝද මුනිවත රැක්කාහ.

රටක් ලෙඩ වනතුරුම මෙකී කාලකණ්ණි ජාවාරම් කිසිදු උපද්‍රවයකින් තොරව අඛණ්ඩව සිදු වුණේත් සහ අදටත් සිදුවන්නේ ද එහෙයිනි. ඇතැම්විට රටම ලෙඩ වෙද්දී ඖෂධ මාෆියාවේ අනුහසින් දේශපාලනඥයන්ගේ මඩියද තරවීම එකී නිහඬ බවට තවත් හේතුවක් වූවා විය හැකිය.

අද මේ අන්දමට රටේ ජනතාවට වස විෂ කවමින් ධන කුවේරයන් බවට පත්ව සිටින්නේ මේ කියන නින්දිත වෙළෙඳ මාෆියාව පමණක්ද? නැත. එහි නවතම දිගුව මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ කොළඹ වරාය කේන්ද්‍රීයව ය. කොළඹ වරාය සහ රේගුව හරහා සිදු කෙරෙන මිනිස් පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ විනාශ කිරීමේ ක්‍රමවේදය හෙවත් ‘ඩිස්ට්‍රෝයි’ ත්‍රස්තවාදය එහා අලුත්ම කොටස්කරුවා බවට පත්ව සිටින්නේය.

මෙකී ඩිස්ට්‍රෝයි ත්‍රස්තවාදය යනු කුමක්ද? මහා පරිමාණ ව්‍යාපාරිකයන් බොහෝ ආහාර ද්‍රව්‍ය මෙරට වෙළෙඳපොළට ගෙන එනු ලබන්නේ විවිධ රටවලින් ආනයනය කිරීමෙනි. අල, ලූනු, පරිප්පු, හාල්, සැමන්, පළතුරු, කොත්තමල්ලි, රටඉඳි, චීස්, බටර් ආදී වශයෙන් එහිදී ආනයනය කරනු ලබන භාණ්ඩ අති විශාල ප්‍රමාණයක් ඇත.

මේ භාණ්ඩ ආනයනය කිරීමේදී ඒවා කොළඹ වරායට පැමිණීමෙන් පසු අදාළ රේගු ගාස්තු ගෙවා ගුදම්වලින් රැගෙන යෑමට නිශ්චිත කාලසීමාවක් ඇත. එහෙත් සමහර අවස්ථාවල හදිසියේ වෙළෙඳපොළ තුළ ඇතිවන තත්ත්වයන් හේතුවෙන් ව්‍යාපාරිකයන් එසේ ගෙන්වනු ලැබූ භාණ්ඩ මුදාගැනීම ප්‍රමාද වන අවස්ථා ඇත.

එහිදී භාණ්ඩ ආනයනය කළ පුද්ගලයා වරායෙන් සහ රේගුවෙන් සිදු කරනු ලබන දැනුම්දීම්වලට නිසි ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉන් පසුව සිදු වන්නේ එකී භාණ්ඩ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට කටයුතු කිරීමය. එසේ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා දැමීමට පෙර එකී භාණ්ඩවල තත්ත්වය පරීක්‍ෂා කිරීම සාමාන්‍යයෙන් සිදු වන්නකි.

එම පරික්ෂාව සිදු කරනුයේ ආහාර පරීක්‍ෂකවරයකු සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සහභාගිත්වය ඇතිවය. මෙම පරීක්‍ෂා කිරීමේදී දිගු කලක් ගුදම්වල පැවතීම හේතුවෙන් ඇතැම් භාණ්ඩ නරක්වීමට ලක්ව තිබීම හෝ නිෂ්පාදිත දිනයට සාපේක්‍ෂව කල් ඉකුත්වී තිබුණහොත් එකී භාණ්ඩ වෙන්දේසියේ විකිණීම අත්හිටුවීමට වරාය හා රේගු බලධාරීහු කටයුතු කරති.

එසේ කරනුයේ එම භාණ්ඩ මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයක පවතින හෙයිනි. ඉන් පසුව සිදු කෙරෙන්නේ එම නරක්වූ හෝ කල් ඉකුත් වූ භාණ්ඩ විනාශ කිරීම හෙවත් ඩිස්ට්‍රෝයි කිරීමේ සහතිකය යටතේ බලපත්‍රලාභී අදාළ පාර්ශ්ව වෙත ලබා දීමය.

කොළඹ වරායෙන් එසේ විනාශ කිරීම සඳහා ලබා දෙන භාණ්ඩ නීත්‍යානුකූලව රැගෙන ගොස් විනාශ කිරීම සඳහා නිසි බලපත්‍ර සහ අවසරය සහිත බලපත්‍රලාභී බාහිර පුද්ගලයන් දෙතුන් දෙනකු කොළඹ වරාය හා සම්බන්ධව සිටී. එහෙත් මේ වන විට කොළඹ වරායේ සහ රේගු දෙපාර්තමේන්තුවේ අදාළ බලධාරීන් එකී විනාශ කළ යුතු බවට නිර්දේශ කෙරුණු ආහාර ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා ලබා දෙන්නේ එසේ නිසි අවසරය ලබාගත් පුද්ගලයන්ටද?

කිසිසේත්ම නැත. වරායේ සහ රේගුවේ ලොකු ලොක්කන් එතැනදී සිදු කරනුයේ අදාළ බලපත්‍රලාභීන්ගේ නියෝජිතයන් සේ පෙනී සිටින අයට ආහාර ද්‍රව්‍ය සහිත අදාළ බහාලුම් රැගෙන යෑමට අවසරය ලබාදීමය.

එසේ වගකීම් විරහිත අන්දමින් කටයුතු කරමින් අදාළ නොවන පුද්ගලයකුට විනාශ කළ යුතු භාණ්ඩ ලබාදීමට රේගු සහ වරාය ලොක්කන්ට අවසර දුන්නේ කවරෙක්ද? වරාය ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ අවසරය ලබා දුන්නේද? එසේ නැතිනම් ජනාධිපති කාර්යාලයේ වගකිවයුතු නිලධාරියෙක් වරාය සහ රේගු බලධාරීන්ට එකී අවසරය ලබා දී තිබේද?

එය අප නොදන්නා කරුණකි. කෙසේ වෙතත් මේ අන්දමට විනාශ කළ යුතු භාණ්ඩ වරායෙන් සහ රේගුවෙන් ලබා ගන්නා මෙකී ඩිස්ට්‍රෝයි නියෝජිතයන් හෙවත් අන් අයකු සේ පෙනී සිටින්නන් එම භාණ්ඩ වරායෙන් පිටතට රැගෙන යෑමෙන් පසුව සිදු කරනුයේ කුමක්ද?

මහජන සෞඛ්‍ය පරීෂකවරුන්, අධීක්‍ෂණ රේගු නිලධාරීන්, පරිසර අධිකාරියේ වගකිවයුත්තන් ආදී පාර්ශ්ව ගණනාවකගේ රාජකාරිය බල්ලන්ට දමා ඔවුන් කරනුයේ අදාළ විනාශ කළ යුතු භාණ්ඩ විවිධ තැන්හි පිහිටි පෞද්ගලික ආහාර ගබඩා වෙත රැගෙන යෑමය. ඇතැම් විට මෙහිදී ඉහත කී රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාම අල්ලස මගින් එසේ නිහඬ කරනවාද විය හැකිය.

මෙසේ විනාශ කළ යුතු භාණ්ඩ රැගෙන යෑමෙන් පසු ඉහත කී ඩිස්ට්‍රෝයි කාක්කන් අවසානයේ සිදු කරනුයේ එම භාණ්ඩ තොග අතර ඇති කල් ඉකුත්වූ මිනිස් පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ ගෙන වෙනම ඇසුරුම්වල අසුරා දින වෙනස් කරමින් වෙළෙඳපොළට යැවීමය. කිසියම් බහාලුමක ඇති භාණ්ඩ නරක්වීමට ලක්ව තිබෙන්නේ නම් එකී නරක් වූ කොටස ඉවත් කර ඉතිරි කොටස වෙළෙඳපොළට යැවීමටද එහිදී මෙකී ඩිස්ට්‍රෝයි කාක්කෝ කටයුතු කරන්නාහ.

මේ අන්දමට කල් ඉකුත් වූ සහ නරක් වූ ආහාර ද්‍රව්‍ය ගබඩා කර තිබූ හැඳල වත්තල ප්‍රදේශයේ පිහිටි විශාල ගබඩාවක් වැටලීමට පාරිභෝගික සේවා අධිකාරිය ඉකුත් සතියේදී කටයුතු කළේය. සිදුකළ වැටලීමේදී පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු එම ගබඩාවේ තිබී කල් ඉකුත් වූ තිරිඟු පිටි, අල, ලූනු, කොත්තමල්ලි, සැමන්, චීස් සහ බටර් ආදී වශයෙන් වූ මිනිස් පරිභෝජනයට නුසුදුසු විශාල භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගනු ලැබූහ.

පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු එහි යන විටත් අදාළ කල් ඉකුත් වූ භාණ්ඩවලින් කොටසක් වෙනත් ඇසුරුම්වල අසුරා දින වෙනස් කිරීමටද කටයුතු කර තිබිණි.

රුපියල් දෙකෝටියකට ආසන්න වටිනාකමකින් යුතු මිනිස් පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ තොගයක් අදාළ ගබඩාවේ තිබිණි. මේ කිසිවක් ගුවන් මගින් මෙරටට රැගෙන ආ නොහැකිය. මේ සියල්ල මෙරටට ආනයනය කළ හැක්කේ කොළඹ වරාය හරහාය. එසේ නම් වරායේ සිට මේ සියල්ල වත්තල ගබඩාවට රැගෙන ආවෝ කවරහුද? ඒවා රැගෙන ආවේ වරාය සහ රේගු නිලධාරීන් සමග සහසම්බන්ධ වෙමින් අනුන්ගේ ලයිසන්වලින් ඩිස්ට්‍රෝයි බඩු අදින ඉහත කී කාක්කෝද?

මෙහි තිබී පාරිභෝගික සේවා අධිකාරිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ කුණු සැමන් කන්ටේනරයේ සැබෑ හිමිකරු කුප්‍රකට සුදු ලූනු වංචාවේ මහ මොළකරු බවද අනාවරණය විය. දැනගැනීමට ඇති පරිදි එකී කුණු සැමන් කන්ටේනරය සුදු ලූනු හොරා වෙනුවෙන් රේගුවෙන් රැගෙන ගොස් ඇත්තේ ඔහුගේ ගෝලයෙකි.

මේ සිද්ධියේදී අපට ප්‍රබලම ගැටලුව මතුවන්නේ කොළඹ වරාය රේගුව සිටින්නේ කුණු සැමන් විකුණන්න දැයි කල්පනා කිරීමේදීය.

කොළඹ වරායේ මෙකී ඩිස්ට්‍රෝයි ත්‍රස්තවාදය විසින් වරායේ තිබූ කුණු මාළු බහාලුම් සිය ගණනක් රටේ ජනතාවට කවන්නටද ඉකුත් කාලයේ කටයුතු කළේය. ඇතැම් තැන්වලදී විවිධ වස විෂ යොදා එකී කුණු මාළු කරවල කෙරුණු බවක් ද ඒ දිනවල වාර්තා විය.

ඩිස්ට්‍රෝයි කාක්කෝ මෙන්ම ඇතැම් වරාය සහ රේගු කෙරුමෝ මෙසේ මුදල හමුවේ කොමඩ් කඩාගෙන බුදින න්‍යායෙන් කටයුතු කරද්දී මේ වස විෂ කැවුණේ මේ රටේ දරුවන්ටය. එදා වේල බත්කටකින් සහ කරවල කෑල්ලකින් පිරිමසා ගත් දුප්පතුන්ටය. කෙටියෙන්ම කිවහොත් මේ රටේ අහිංසක ජනතාවටය.

රටේ මිනිසුන්ගේ කතාව එසේ වෙද්දී මේ වස ජනතාවට විකුණා පොදි ගසාගත් මුදලින් ඩිස්ට්‍රෝයි කාක්කන් මෙන්ම ඇතැම් රේගු සහ වරාය දූෂිතයන් බුදිනු ලැබුවේ රසමසවුළුය. එහෙත් පෙනෙන ඇත්ත එය වුවද තමන් රට රවටා පොදි බැඳ ගත්තේ මේ නවාතැනෙන් නික්මෙන දාට රැගෙන යන ගිනි ගොඩවල් බව ඒ දූෂිතයන්ට නොවැටහුණේය.

කලකට ඉහත කොළඹ වරායට ආ පිළිකාකාරක සහිත පොල්තෙල් කතාවේදී ද සිදුවූයේ මේ ටිකය. පොල්තෙල් රේගුවෙන් පිටවිය. ඒවා රට පුරා ගියේය. එයට මැදිහත් වූයේ ඩිස්ට්‍රෝයි කාක්කෙකි. හේ පෙනී සිටියේ වෙනකෙකුගේ නමිනි. අවසානයේ මේ විෂ පොල්තෙල් සිද්ධියට නඩුවක් පැවරිණි. ඒ නඩුවද අදටත් විභාග වෙමින් තිබෙන්නකි.

එහිදී චෝදනා එල්ල වී දින කිහිපයක් වැලිකඩ බත බුදිනු ලැබුවේ විෂ පොල්තෙල් රට පුරා ගෙන ගිය ඩිස්ට්‍රෝයි කාක්කාගේ ලොක්කාය. ඔහු තවමත් මෙකී පොල්තෙල් කතාවේ චූදිතයෙකි.

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය හෙවත් විනාශ කිරීමට යැයි පවසා රැගෙන යන මෙකී ඩිස්ට්‍රෝයි බඩු රේගු අධීක්‍ෂණයෙන් පසු කොළඹ වරායෙන් පිටතට යන්නේද හරි අපූරු ක්‍රමයකටය. එකී බහාලුම් වරායෙන් පිටතට යන අවස්ථාව කිසිවකුත්ම දන්නේ නැත.

එය දැන සිටින්නේ ඩිස්ට්‍රෝයි කාක්කන් සමග සහසම්බන්ධව සිටින රේගු සහ වරාය නිලධාරීන් දෙතුන් දෙනකු පමණි. කෙටියෙන්ම කිවහොත් සියල්ල දැන සිටින්නේ ගින්දර බුදින දූෂිතයන් කිහිප දෙනාය. එසේ විනාශ කළ යුතු භාණ්ඩ රහසේ වරායෙන් පිටවෙද්දී ඒවාට ඕනෑම දෙයක් කිරීමේ අවස්ථාව ඩිස්ට්‍රෝයි කාක්කන්ට ලැබෙන්නේය.

ඩිස්ට්‍රෝයි කතාව එසේ වෙද්දී හොඳ තත්ත්වයේ පවතින ආහාර ද්‍රව්‍යවලට විනාශ කිරීමේ හෙවත් ඩිස්ට්‍රෝයි ලේබලය අලවා වරායෙන් පිට කිරීමේ ජාවාරමක්ද අද මෙකී දූෂිතයෝ සිදු කරන්නාහ. එහිදී රුපියල් කෝටි ගණනක ආදායමක් රජයට අහිමි වන තත්ත්වයක් නිර්මාණය වී තිබෙන නිසා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මට්ටමේ පරීක්‍ෂණයක් කළ යුතු එකී ජාවාරම පිළිබඳ නුදුරේදීම හෙළි කරන්නට අපි පියවර ගන්නෙමු.

මෙකී දූෂිතයන් එකට එක්ව ඕජස් ගලන කොළඹ වරායේ ඇති නොයෙකුත් කුණු ගොඩවල් රටේ ජනතාවට කවන්නේ එසේය. සැබැවින්ම අදාළ බලධාරීන්ට සහ පාලකයන්ට මෙය නතර කිරීමට නොහැකිව තිබෙන්නක්ද?

පහසුවෙන්ම හැකියාව ඇත. ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? ආයාසයක් නොගෙනම කළ හැකි එකම දෙය වන්නේ මෙකී විනාශ කළ යුතු හෙවත් ඩිස්ට්‍රෝයි භාණ්ඩ සහිත බහාලුම් වරායෙන් පිට කිරීම සඳහා නිශ්චිත වෙලාවක් නියම කිරීමය.

එසේ කළහොත් වරාය හා සම්බන්ධව කටුයුතු කරන සියල්ලන්ගේ අවධානය ඒ කෙරෙහි යොමුවීම කිසිවකුටත් වැළැක්විය නොහැකිය. කොළඹ වරාය හා සම්බන්ධ ආනයන වෙළෙඳාමේ යෙදෙන බොහෝ ව්‍යාපාරිකයෝ සිටිති. එනිසා ඩිස්ට්‍රෝයි බහාලුම් වරායෙන් පිටතට රැගෙන යෑමේදී හැමදාටම වලංගු වන නිශ්චිත වේලාවක් ප්‍රකාශයට පත් කෙරුණහොත් මේ කාලකණ්ණි මාෆියාවට අනිවාර්යයෙන්ම තිත තැබිය හැකිය.

එසේ කිරීමේදී ආදළ බහාලුම් විනාශ කිරීමට නියමිත ස්ථානය වෙත රැගෙන යන තෙක් පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්‍ෂාව යටතේ එය සිදු කෙරුණහොත් රටේ ජනතාවට වස කවන මෙකී කාලකණ්ණි ජාවාරමට තිත තැබිය හැකිය.

වරාය ඇමැති නිමල් සිරිපාල මහතාණනි, එවැනි ඍජු තීරණයක් ගෙන මේ වස විසෙන් රටේ ජනතාව බේරා ගන්නට ඔබට හැකියාවක් නැතිද? දූෂණයෙන් කෝටිපතියන් වී කොළඹ වරායේ ලොකු පුටුවල වැජඹෙමින් අනේ සර් කියා කණ විකන්නට එන එවුන් පන්නා දමා දැඩි තීරණයක් ගෙන මෙම ඩිස්ට්‍රෝයි ත්‍රස්තවාදයට තිත තබන්නට වරාය ඇමැතිවරයා සහ ජනතා නියෝජිතයකු ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතාට පැහැදිලි වගකීමක් ද ඇත.

එකී වගකීම භාරගෙන ජනතාව වෙනුවෙන් තීන්දුවක් ගැනීමට ඇමැතිවරයා සූදානම් ද? එසේ නොකරන්නේ නම් රටත් ජනතාවත් වනසන මෙකී කාලකණ්ණි මාෆියාවට තිත තබන ලෙස අප ඍජුවම ඉල්ලා සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන්ය.

කවුරුන් කළත් මෙය මහත් ඵල මාහානිශංස ගෙන දෙන පුණ්‍යකර්මයක් බව නම් සියලුම දේශපාලනඥයන්ගේ වැටහීම පිණිස සඳහන් කළ යුතුය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment