ක්‍රිකට් පිටියෙන් සමුගත් ඇන්ඩර්සන්

152

ලොවට ක්‍රිකට් කියා දුන් එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ට ගණයේ වේග පන්දු යවන්නෙකු වූ ජේම්ස් ඇන්ඩර්සන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් පසුගිය (12 දා) සමුගත්තේය.

ඔහු ටෙස්ට් පිටියට සමුදුන්නේ වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවා ගත් වේගපන්දු යවන්නාට හිමි වාර්තාව ද තමා සතුකර ගනිමිනි.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 121කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම පසුගියදා සමත් විය.

එය ජේම්ස් ඇන්ඩර්සන්ගේ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය වූ අතර ඔහු එම තරගයේදී කඩුලු 4ක් දවා ගැනීමට සමත්විය.

සිය ටෙස්ට් දිවියේ අවසන් තරගයට එක් වූ ජේම්ස් ඇන්ඩර්සන් ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයට රැස්ව සිටි ක්‍රීඩා ලෝලීන්ගේ ආචාර මැද සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය නිමා කළ අතර එම තරගය නැරඹීමට ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් ද එක්ව සිටියහ.

වසර 21ක් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටිය හැඩ වැඩ කළ මෙම අසහාය පන්දු යවන්නා තව දින කිහිපයකින් සිය 42 වැනි වියට පා තබන අතර ඔහු ටෙස්ට් පිටියෙන් සමුගන්නා විට දවාගෙන තිබූ කඩුලු සංඛ්‍යාව 704කි.

මුත්තයියා මුරලිදරන් සහ ෂේන් වෝන්ගෙන් පසු වැඩිම ටෙස්ට් කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ 3 වැනි තැනට හිමිකම් කියූ ඇන්ඩර්සන්ට වැඩිම කඩුලු ලාභීන්ගේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට තවත් අවශ්‍යව තිබුණේ කඩුලු 5ක් පමණි. ඒ අනුව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු සඛ්‍යාවක් දවා ගත් වේගපන්දු යවන්නා ලෙස මතක රැසක් ඉතිරි කරමින් ඇන්ඩර්සන් ජාත්‍යන්තර ක්‍රිකට් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදුනි.

සුසිල් ජයකොඩි


advertistmentadvertistment