ක්ෂුද්‍ර මූල්‍යය නමැති ක්ෂුද්‍ර ජීවියා – (ඌ දැන් වැදි ගම්මාන ද ආක්‍රමණය කර ඇත)

904

Micro Finance හෙවත් ක්ෂුද්‍ර ණය යනුවෙන් සංකල්පයක් මධ්‍යකාලීන යුගයේ මුලදී ලොව පහළ විය. එහි මූලික අදහස වූයේ මිනිසුන්ට ණය දීමය. හැබැයි මේ ණය දුන්නේ බැංකු මූල්‍ය ආයතන හෝ ධනපතියන් විසින් නොව කතෝලික පල්ලියට අයත් ෆ්‍රැන්සිස්කානු නිකායේ පූජකයන් විසිනි. පල්ලියේ පිං කැටවලට වැටෙන සල්ලිවලින් ස්වල්පයක් ද පල්ලියට ලැබෙන ධාන්‍ය සහ රෙදි ද මෙසේ ණයට දෙන ලදී. ණයගැතියා විසින් ගිවිසගත් කාලයකදී ණය හිමියාට හෙවත් පල්ලියට මේ ණය ආපසු ගෙවිය යුතු විය. එසේම ණය ගැතියා අත තිබුණොත් තවත් කුඩා මුදලක්ද පල්ලියට පරිත්‍යාග කරන ලදී. සමහරවිට යුරෝපයේ බැංකු සංකල්පයේ මුලද මෙය විය හැකිය. මයික්‍රෝ ෆයිනෑන්සින් ක්‍රමය තුළදී බැතිමතා සූරාගෙන කෑම නොකරන ලදී. එය පවත්වාගෙන යන ලද්දේ පල්ලිය සහ ප්‍රජාව අතර සම්බන්ධය දැඩි කරනු පිණිසය. මේ ක්‍රමය දිගටම ඒ ආකාරයෙන්ම තිබුණු අතර 1976 දී අලුත් මුහුණුවරකින් බංගලාදේශයෙන් මතුවිය. එකල බංගලාදේශයේ චිතගොන් විශ්වවිද්‍යාලයේ සිටි මහාචාර්යවරයකු වූ මොහොමඩ් යුනුස් කිසිදු හව්හරණක් නැති ඇපයක් තැබිය නොහැකි පුද්ගලයන්ට ඔවුන්ගේ ජීවිත ගොඩගැනීම සඳහා ණය ක්‍රමයක් හඳුන්වා දෙන්නේ කෙසේදැයි පර්යේෂණයක් කළේය. මේ පර්යේෂණයේ ප්‍රතිපලයක් ලෙස 1983 දී ග්‍රාමීන් බැංකුව නමින් බංගලාදේශය තුළ රජයේ ලියාපදිංචි බැංකුවක් බිහිවිය. මේ බැංකුව ණය දෙන්නේ ඒවා ආපසු ගෙවීම සඳහා මුදල් උපයාගත හැකි පරිදි විවිධ නිෂ්පාදන හා සේවා ව්‍යාපෘති ණය ගැතියන්ට හඳුන්වා දෙමිනි. ණය ගැනීම සඳහා කිසිදු ඇපයක් තැබීමට අවශ්‍ය නොවීය. ග්‍රාමීන් බැංකුවේ සාමාජිකත්වය ලත් ඉතා සාමාන්‍ය තැන්පත්කරුවන් දෙදනකු නිර්දේශ කරන්නේ නම් ණය මුදල ලබා ගැනීමට හැකි විය. ගැමියන්ට ණය නිකුත් කළ පසු බැංකුවේ කට්ටිය ණය ගැතියන්ට සහය දෙමින් සහ ආත්ම ධෛර්යය නංවමින් ඔවුන් පසුපසින්ම සිටියහ. වසර 2003 සහ වසර 2007 අතර කාලයේදී මේ බැංකුව මහත් සේ දියුණු විය. වසර 2011 වන විට මේ බැංකුවේ ණය ගැතියන් සංඛ්‍යාව අසූ හතර ලක්ෂයකි. එයින් 87%ක්ම කාන්තාවෝ වූහ. වසර 2006 දී මේ බැංකුවේ ආරම්භක මහාචාර්ය මොහොමඩ් යුනුස් නොබෙල් ත්‍යාගයෙන් පුදන ලදී. වැදගත්ම කාරණය වන්නේ මොහොමඩ් යුනුස් තම සාක්කුවේ රුපියල් 200 න් ග්‍රාමීන් බැංකුව ආරම්භ කිරීමය. අද ග්‍රාමීන් බැංකුවේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 204 කි. මෙහෙයුම් ආදායම ඩොලර් මිලියන 79 කි. ශුද්ධ ආදායම වසරකට ඩොලර් මිලියන 16 කි. සම්පූර්ණ වත්කම ඇමෙරිකන් ඩොලර් බිලියන 2.8 කි. අද මේ බැංකුවේ ශාඛා 2568 ක් බංගලාදේශයේ තිබේ. ඒවායෙහි සේවක සේවිකාවෝ 20138 ක් වැඩ කරති.

ලංකාවේද මයික්‍රෝ ෆිනෑන්සින් හෙවත් ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් සපයන ආයතන තිබේ. මේවායින් වැඩි හරිය බැංකු පනත යටතේ නොව සමාගම් පනත යටතේ අටවාගන්නා ලද පතෝල මැස්සවල් වැනි අස්ථාවර ආයතන වෙති. මේ මූල්‍ය ආයතන හිස් කොළවලට අත්සන් ලබාගෙන ගැමියන්ට ණය ලබා දෙති. ඔවුන් මුලදී පෙන්වන්නේ එම ණය සඳහා ඇහැට නොපෙනෙන පොලියක් පමණක් අය කරන බවය. ගිවිසුම් අත්සන් කර ණය දීමෙන් පසු වැඩේ සම්පූර්ණයෙන්ම අනෙක් පැත්ත පෙරළේ. එවිට ගැමියන්ගෙන් අත්සන් ලබාගත් හිස් කොළ ගිවිසුම් පත්‍ර බවට පෙරළෙයි. නිසි කාලයේදී ණය ගෙවීමට බැරි වුණොත් ගැමියන් සතු ඉඩකඩම් සහ වාසස්ථාන පවරා ගැනීමට මයික්‍රෝ ෆිනෑන්ස් ආයතනයකට පුළුවන. එහෙත් හරිආකාර නඩුවක් ගියොත් ඔවුන්ට එසේ කිරීමට බැරිය. දුප්පත් ගැමියෝ නඩු යෑමට නොදනිති. ලැජ්ජා භය ඇති ඒ මිනිස්සු සිය ඉල ඇට ටික ගලවා විකිණීමෙන් හෝ ණය ගෙවිය යුතු බව කල්පනා කරයි. මේ අනුව කොම්පැනියක අයිතිකාරයාට ණයද පොලියද ආපසු ලැබෙයි. ඒ අතර ණය ගත් ගැමියා මහ පාරට වැටෙයි.

මෙවැනි සිද්ධියක් පසුගියදා වාර්තා වූ අතර එය ‘ඉරිදා දිවයින’ පුවත්පතේද පලවිය. මේ බිමේ මුල් අයිතිකාරයන් වූද කුවේණියගෙන් පැවත එන්නේ යැයි කියනු ලබන්නා වූද වැදි ජනතාවට ජීවත්වීම සඳහා සෑහෙන ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුව තිබේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති රීති නිසා කැලෑවට රිංගා සතුන්ට වෙඩි තැබීම අද ඔවුන්ට තහනම්ය. මී පැණි එකතු කිරීමට සහ කටු අල හෑරීමට පමණක් කැලෑ වැදීමට ඔවුන්ට ඉඩ තිබුණද එසේ යන එන විටදී දඩයම් සඳහා වනයට රිංගූ බවට චෝදනා ලබමින් ඔවුහු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වෙති. මේ කරදරකාරී තත්ත්වය හේතුවෙන් බොහෝ දුෂ්කරතාවලට මුහුණ පාන වැදි ජනයාගේ ඉඩම් ටිකට කෙළීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන රැසක් මේ දිනවල ආදී වාසි වාස භූමි වලට රිංගාගෙන සිටිති. ඔවුහු ආදි වාසී පවුල්වල කාන්තාවන්ට රුපියල් 30,000 සිට ණය දෙති. රුපියල් ලක්ෂයක් ණයට ගත්විට සතියකට රුපියල් 2650 බැගින් සති 100 ක් පමණ ගෙවිය යුතුය. එවිට ක්ෂුද්‍ර මූල්‍ය හිමියාට 100% ක්ම පොළිය ලබාගත හැකිය. මේ රටේ ආදි වාසී ජනතාවට සමහර මාසවල රුපියල් 2650 ක් තබා සත 2650 ක් වත් ලැබෙන්නේ නැත. ක්ෂුද්‍ර මූල්‍යකාරයන් ණය ඉල්ලාගෙන හැමදාම ගෙවල්වලට රිංගීම ආදි වාසී ජනයා නුරුස්සති. එය ඔවුන්ට ලැජ්ජාවකි. අවසානයේදී සිදුවන්නේ තම ගෙවල් දොරවල් ක්ෂුද්‍ර මූල්‍යකාරයාට පවරාදී මහ මගට බැසීමට වැදි ජනයාට සිදුවීමය. සමහරවිට ආදි වාසීන්ගේ අත්සන් හොරට ගසා ණය මුදල් ලබා ගන්නා අවස්ථාද වේ. එය සිදුවන්නේ මෙසේය. ආදි වාසී කාන්තාවක් රුපියල් 50000 ක ණය ගිවිසුමකට අත්සන් කරයි. ඉන්පසු තවත් රුපියල් 50000 ක හොර ගිවිසුමක් සකසනු ලැබේ. එයට පෙරකී අත්සන හොරට ගසයි. ණයගැති කාන්තාව ලබාගත් සැබෑ මුදල රුපියල් 50000 ක් වුවද මේ වනවිට ගිවිසුම් පත්‍රවල පෙන්වන්නේ ඇය රුපියල් ලක්ෂයක් ලබාගත් බවය. සතිපතා ගෙවන මුදල සති කීයක් ගෙවිය යුතුද යන්න ගැන ඔවුහු නොදනිති. මේ අසාධාරණය ගැන සොයා බලා දැනට වනයට රිංගා සිටින ක්ෂුද්‍ර මූල්‍යකාරයන්ට පහරදී එලවා දැමීම ජනතාවට වගකියන ආණ්ඩුවේ යුතුකම වන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment