සීනි පරීක්‍ෂාවට රෝහලට ආ කත සිහිසුන් කර සේසතම කොල්ල කාලා

2477

සැකකරු අල්ලන්න පොලිස් විමර්ශන

පැය කිහිපයක් නිරාහාරව සිට, රුධිර සාම්පලයක් ලබාදීමට අනුරාධපුර ශික්‍ෂණ රෝහලට පැමිණි කාන්තාවක එම රුධිර සාම්පලය ලබා දී විවේක ගනිමින් සිටියදී පැමිණි පුද්ගලයකු ලබාදුන් පැණි බීම බෝතලයක් බීමෙන් පසු සිහිසුන් වී ඇති අතර එම පුද්ගලයා කාන්තාව සතු ලක්‍ෂ තුනකට වැඩි මුදල් හා දේපළ සොරාගෙන ගොස් ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි.

තිරප්පනේ, ඇතුන්ගම සිට අනුරාධපුර ශික්‍ෂණ රෝහලට පැමිණි 68 හැවිරිදි කාන්තාවක් පෙරේදා (09දා) සිදු කළ පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. රුධිර සාම්පලය ලබාදී තමා ශික්‍ෂණ රෝහලේ විවේක ගනිමින් සිටියදී පුද්ගලයකු පැමිණ පැණි බීම බෝතලයක් ලබාදුන් බවත්, පැය ගණනාවක් නිරාහාරව සිටි නිසා එය පානය කිරීමෙන් අනතුරුව තමන් බිම ඇද වැටී ඇති බවත් පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

සිහිය පැමිණෙන විට තමන් අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ 19 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි බව ද අනතුරුව බලන විට තමන් ගෙල බැඳ සිටි රුපියල් 240,000 ක් වටිනා රන් මාලය සහ රන් පෙන්ඩනය, 80,000 ක් වටිනා කාන්තා මුදු දෙකක්, 3000 ක් වටිනා ජංගම දුරකථනය, මුදලින් රුපියල් 4800 ක් ඇතුළු රුපියල් 327800 ක් වටිනා රන් භාණ්ඩ සහ මුදල්, ජාතික හැඳුනුම්පත සොරකම් කර ඇතැයි එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් ඇති බව පොලිසිය කියයි.

මෙම සොරකමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර පොලිසියේ නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.
මිහින්තලේ – රංග චතු

advertistmentadvertistment
advertistmentadvertistment