ඇල්බට් හර්ෂ්ෆෙල්ඩ් (Albert Hirschfeld) යනු ප‍්‍රසිද්ධ පුද්ගලයන්ගේ සහ බ්‍රෝඩ්වේ තරුවල කළුසුදු කාටුන් චිත‍්‍ර නිර්මාණය කිරීම පිළිබඳව ප‍්‍රසිද්ධියට පත්ව සිටි ඇමෙරිකානු කාටුන් ශිල්පියෙකි. Broadway යනු රඟහල් රැසක් පිහිටි නිව්යෝර්ක් නගරයේ වීදියකි. බ්‍රෝඩ්වේ තරු යනු එම වීදියේ රඟහල්වල රඟපෑ නළු නිළියන්ව හඳුන්වන නමයි.
ඇල්බට් හර්ෂ්ෆෙල්ඩ් 1903 ජුනි 21 වැනිදා ඇමෙරිකාවේ මිසුරි ප‍්‍රාන්තයේ ශාන්ත ලූවී හිදී උපත ලැබීය. ඇල්බට් හර්ෂ්ෆෙල්ගේ පවුලේ අය 1915 දී නිව්යෝර්ක් නගරයට සංක‍්‍රමණය විය. එහිදී ඔහු ජාතික නිර්මාණ ඇකඩමියෙන් කලා පුහුණුව ලබා ගත්තේය. ඔහු තමාගේ ඇල්බට් යන නම කෙටිකර ‘‘අල්’’ යනුවෙන් හඳුන්වා දෙමින් ‘‘අල් හර්ෂ්ෆෙල්ඩ්’’ යන නමින් පෙනී සිටියේය.
හර්ෂ්ෆෙල්ඩ් 1927 දී ෆ්ලොරන්ස් රූත් හොබි (Florence
Ruth Hobby) නම් ගායන ශිල්පිනිය සමඟ විවාහ වූ අතර 1932 දී ඇගෙන් වෙන්වී 1943 දී දික්කසාද විය. එම වසරේම ඔහු නිළියක් හා රංග ශිල්පිනියක වන ඩොලී හාස් (Dolly Hass) සමග විවාහ විය. හාස් 1994 දී ඩිම්බකෝෂ පිළිකාවකින් මිය ගියේය. එවිට ඇයට වයස අවුරුදු 84 කි. ඔවුනට එක් දරුවෙකි. ‘‘නීනා’’ (Nina) නම් එම දියණිය 1945 දී උපත ලැබීය. 1996 දී හර්ෂ්ෆෙල්ඩ් නාට්‍ය ඉතිහාසඥවරියක වන 1936 දී උපන් ලූයිසෝ කර්ස් (Louiso Kerz) සමග විවාහ විය.
1924 දී හර්ෂ්ෆෙල්ඩ් පැරීසියට සහ ලන්ඩනයට ගිය අතර එහිදී ඔහු චිත‍්‍ර ඇඳීම හා මූර්ති ශිල්පයද හැදෑරීය. ඔහු නැවත ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණි විට මිත‍්‍රයෙකුවු බ්‍රෝඩ්වේ මාධ්‍ය නියෝජිත රිචඩ් මැනී ‘‘නිව්යෝර්ක් හෙරල්ඩ් ටි‍්‍රබියුන්’’ පුවත්පතේ කතුවරයාට හර්ෂ්ෆෙල්ඩ්ගේ චිත‍්‍රයක් පෙන්වා ඇත. එම චිත‍්‍රය දුටු කතුවරයා හර්ෂ්ෆෙල්ඩ්ව එම පුවත්පත වෙත බඳවා ගත්තේය. පසුව ඔහු ‘‘නිව්යෝර්ක් ටයිම්ස්’’ පත‍්‍රයටද සම්බන්ධ විය.
හර්ෂ්ෆෙල්ඩ්ගේ චිත‍්‍ර ශෛලිය ඉතා විශිෂ්ට වන අතර කලාකරුවන්ට, නිදර්ශකයන්ට සහ කාටුන් ශිල්පීන්ට බලපෑම් කළ අතර ඔහු සමකාලීන චිත‍්‍ර ඇඳීමේ සහ විකට චිත‍්‍ර කලාවේ වැදගත්ම චරිතයක් ලෙස සැළකේ. ඔහුගේ කාටුන් චිත‍්‍ර එක එල්ලේ දිවයන රේඛාවන්ගෙන් බහුලය. ඒවා ගොරහැඩිබවෙන් තොරය. අඳුරු සෙවනැලි නැත. පසුබිම් අඩංගු නොවේ. කාටුනය නියමාකාරව ඉස්මතුවී ඇත. ඔහුගේ චිත‍්‍රයේ හැඩතල රිද්මයානුකූල ස්වභාවයක් ගනී. කළුසුදු වර්ණය බෙහෙවින් දක්ෂ ලෙස පහසුවෙන් හැසිරවු කාටුන් ශිල්පියෙකි හර්ෂ්ෆෙල්ඩ්.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත හා අනෙකුත් පුවත්පත් වර්ණයෙන් මුද්‍රණය කළ කාලයට පෙර සිටම හර්ෂ්ෆෙල්ඩ් සුදු පසුබිමේ කළු තීන්තෙන් කාටුන් ඇඳීමට හුරු විය. කළු සුදු පාටින් ඇන්දත් එම චිත‍්‍ර කෘතීන් වර්ණවත්ය. ඔහු විසින් නිර්මාණය කරන ලද වර්ණ චිත‍්‍රද බොහෝ සඟරාවල පිටකවර සැරසීමට ලබාගෙන ඇත. උදාහරණ ලෙස. Tv Guide, Life Magazine, American Mercury,Look Magazine, The New Masses සහ Seventeen Magazine පෙන්වා දිය හැකිය. ඔහු බොහෝ පොත් වර්ණයෙන් නිරූපණය කළේය. ඒවා අතර Harlem As seen By Hirschfeld කැපී පෙනේ.
1963 අග භාගයේදී රූපවාහිනී වැඩසටහන් සඳහා නිදර්ශන චිත‍්‍ර ඉදිරිපත් කරන ලෙස හර්ෂ්ෆෙල්ඩ් ගෙන් CBS විසින් ඉල්ලා සිටියේය. (CBS) යනු ඇමෙරිකාවේ වාණිජ විකාශන රූපවාහිනී සහ ගුවන් විදුලි ජාලයකි) ඉන් එක් වැඩසටහනක් වූයේ කැන්ඞීඩ් කැමරාය. Candid Camera යනු ජනප‍්‍රිය දිගුකාලීන සැඟවුණු කැමරා රියැලටි වැඩසටහනකි. මෙම Candid Camera හි සත්කාරක ඇලන් ෆන්ට්ගේ විකට චිත‍්‍රයක් නිසා ෆන්ට් කෝපයට පත්වී ඉන් ඉවත්වන බව කියා සිටියේය. (ඇලන් ෆන්ට් යනු ඇමෙරිකා රූපවාහිනී නිෂ්පාදකයෙක්, අධ්‍යක්‍ෂවරයෙක්, ලේඛකයෙක් සහ කැන්ඞීඩ් කැමරා වැඩසටහනේ නිර්මාර්තෘවරයාය.) නමුත් හර්ෂ්ෆෙල්ඩ් පෙන්වා දුන්නේ පුවත්පත් සහ වෙනත් කලාකෘති සඳහා සකස් කරන ලද කාටුන් නිර්මාණයන් දිගු කාලයක් තිස්සේ කර ඇති නිසා ඒවා ඉල්ලා අස්කරගැනීමට ප‍්‍රමාද වැඩි බවය.
හර්ෂ්ෆෙල්ඩ් තරුණ වියේ සිට ජීවිතයේ අවසානය දක්වාම කාටුන් චිත‍්‍ර ඇන්ද නිසා 20 වන සියවසේ ප‍්‍රධාන විනෝදාස්වාද චරිත සියල්ලම පාහේ ඔහුගේ නිර්මාණවලට පාදක විය. ඔහුගේ දශක අටක වෘත්තීය ජීවිතය තුළ විවිධ බ්‍රෝඩ්වේ නාට්‍යවල නළුවන්, නිළියන්, ගායකයන්, ගායිකාවන්, නිෂ්පාදකවරුන්, අධ්‍යක්‍ෂවරුන් හා නර්තන ශිල්පීන් නිරූපණය කිරීම ගැන ඔහු ප‍්‍රසිද්ධියට පත්විය. බ්‍රෝඩ්වේ රඟහලක නාට්‍යයක් අලූතෙන් ආරම්භ වනවිට හර්ෂ්ෆෙල්ඩ්ගේ කාටුනයක් සමග ඒ ගැන කල්තියාම නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවිය. වයස අවුරුදු 17 දී ඔහුගේ සමකාලීනයන් චිත‍්‍ර ඇඳීමේ ප‍්‍රාථමික අවදියේ සිටියදී ඔහු සෙල්ස්නිත් ඉන්ටර්නැෂනල් පික්චර් (Selznick
International Pictures) හි කලා අධ්‍යක්ෂවරයෙකු බවට පත්විය.
Selznick Pictures යනු 1918 දී චිත‍්‍රපට පුරෝගාමිකයෙකු වන තෝමස් ඉන්ස් විසින් ගොඩනගන ලද චිත‍්‍රාගාරයකි. 1935 දී එය ඬේවිඩ් ඕ සෙල්ස්නික් විසින් ක‍්‍රියාත්මක කරන ලද අතර එය හොලිවුඩ්හි චලන චිත‍්‍රාගාරයක් බවට පත්විය. හර්ෂ්ෆෙල්ඩ් වසර හතක් පමණ එම චිත‍්‍රාගාරයේ එම තනතුර දැරීය.
1924 දී හර්ෂ්ෆෙල්ඩ් පැරීසියට ගියේ බොහීමියානු ජීවිතයක් ගත කිරීම සඳහාය Bohemian Life යනු පෞද්ගලික දේපල හා භෞතිකවාදය ප‍්‍රතික්‍ෂේප කළ කොතැනකවත් ස්ථීර පදිංචිය නැති සුළු ද්‍රව්‍ය කිහිපයක් අතැතිව සුළු ධනයකින් ජීවත්වීමය. ඔහු පැරීසියේ තට්ටු නිවාසයක ජීවත් විය. එහිදී හර්ෂ්ෆෙල්ඩ් සිය රැව්ල වැවීමට පටන්ගත් අතර මෙය ඔහු ඉදිරි වර්ෂ 75 ක් තුළම එලෙසම තම රැව්ල රඳවාගෙන සිටියේය.
බ්‍රෝඩ්වේ රඟහල් සහ චිත‍්‍රපටවලට අමතරව හර්ෂ්ෆෙල්ඩ් විසින් කෝල් පෝටර් සහ නිකලස් බ‍්‍රදර්ස්ගේ සිට ස්ටාර් ටේරක්: ද නෙක්ස්ට් ජෙනරේෂන් හි නළු නිළියන් දේශපාලකයින් රූපවාහිනී තරු සහ ප‍්‍රසිද්ධ පුද්ගලයින්ගේ රූප තම කාටුන් චිත‍්‍රවලට සම්බන්ධ කරගත්තේය. ඔහු ජෑස් සංගීතඥයින්ද ගායකයින්ද වාදකයින්ද තම කාටුන් තුළින් පෙන්වා දුන්නේය. ග්ලේන් මිලර්, ඩියුක් එලින්ටන්, කවුන්ට් බෙසී, ඩෙසිග්ලැස්පි, බිල් හොලිඬේ, එලා ෆිට්ස්ට් ජෙරල්ඩ්, රොකර්ස්, ද බීට්ල්ස් බී‍්‍රස් ස්ප්‍රෙන්ටීන්, එල්විස් ප්‍රෙස්ලි, බොබ් ඩිලාන්, ජෙරී මර්සිකා, ජෙරී මර්සික්, ලූවී ආම්ස්ට්‍රෝං ආදීන් ඉන් ප‍්‍රධාන තැනක් ගනී. 1970 දී පිහිටවු ඇමෙරිකානු රොක් සංගීත කණ්ඩයමක් වන (Aerosmith) ඇරෝස්මිත් ගේ ගීත ඇල්බමයන් ඔහුගේ චිත‍්‍රවලින් වර්ණවත්වී ඇත. හර්ෂ්ෆෙල්ඩ් චාලි චැප්ලින්ගේ චිත‍්‍රපට සඳහා මෙන්ම The Wizard Oz (1939) ඇතුළු බොහෝ මුල් චිත‍්‍රපටවල පෝස්ටර් නිර්මාණය කළේය. ඩිස්නි චිත‍්‍රපට වන Fantasia 2000 හිත්, Rhapsody in Blue යන 1924 දී ජෝර්ජ් ගර්ෂ්වින් විසින් ලියන ලද ඒකල පියානෝ සහ ජෑස් සංගීත කණ්ඩායම් සංයුතියේ හර්ෂ්ෆෙල්ඩ් කලාත්මක උපදේශකයෙකු විය.
හර්ෂ්ෆෙල්ඩ් ඔහුගේ එකම දරුවා වන නීනා NINA නම් දියණියගේ නම තම කාටුන් චිත‍්‍රවල සඟවා තැබීමට පටන් ගත්තේය. NINA යන නම විශාල අකුරෙන් එම චිත‍්‍රවල ලියා ඇත. ඇයගේ උපතෙන් පසු ඔහු විසින් නිර්මාණය කරන ලද චිත‍්‍ර බොහොමයක එම නම චිත‍්‍රයේ සිටින පුද්ගලයෙකුගේ කමීසයක, කොණ්ඩා මෝස්තරයක, තොප්පිපයක හෝ පසුබිමේ කොතැනක හෝ ලියා ඇත. ඔහුගේ සෑම චිත‍්‍රයකම අවම වශයෙන් එක් වරක්වත් ඇගේ නම සඟවා ඇත. සඟවා ඇති NINA සංඛ්‍යාව චිත‍්‍රයේ තබා ඇති ඔහුගේ අත්සනේ දකුණු පසින් ලියා ඇති අංකයෙන් දැක්වෙයි. ඔහුගේ කාටුන් චිත‍්‍රයක හෝ නිර්මාණයක අංකයක් සොයා ගැනීමට නොහැකි නම් ඒ NINA ඉපදීමට පෙර ඔහු විසින් නිර්මාණය කරන ලද චිත‍්‍රයකි. වරක් ඔහු චිත‍්‍රවල NINA ලිවීම නැවැත්තුවේය. ඔහුගේ චිත‍්‍රවල NINA සෙවීම පාඨකයාට කුතුහලය දනවන්නක් විය. එය ලිවීම නැවතූ දිනවලදී කුතුහලයෙන් හර්ෂ්ෆෙල්ඩ්ගේ චිත‍්‍ර බැලූ අය නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වෙත උදහස්වී ලිපි එවීමටත් එය නැවැත්වීම ගැන දුරකථනයෙන් කතාකොට නැවත NINA නම සඟවා පෙන්වන ලෙසත් ෆර්ෂ්ෆෙල්ඩ් වෙත බලපෑම් එල්ලකරන ලදී. පුවත් පත වෙත එවන ලද ලිපි කියවා බලා පිළිතුරු ලියා යැවීමට වඩා NINA චිත‍්‍රවල සැඟවීම පහසු බව හර්ෂ්ෆෙල්ඩ් පැවසීය.
1991 දී එක්සත් තැපැල් සේවය සුප‍්‍රසිද්ධ ඇමරිකානු විකට නළුවන් අනුස්මරණය කරන තැපැල් මුද්දර මාලාවක් නිර්මාණය කිරීමට ඔහුට බාර දුන්නේය. මෙම එකතුවට ස්ටැන් ලෝරල්, ඔලිවර් හාඩි, එඩ්ගර් බර්ගර්, ජැක් බැනී, ෆැන්හි බ්රයිස්, බඩ් ඇබට්, ලූකස්ටෙලෝ ආදීන් ඇතුළත් විය. තැපැල් සේවය ඔහුට නීනාගේ නම ඔහුගේ තැපැල් මුද්දර චිත‍්‍රවලට ඇතුළත් කිරීමට අවසර දී ඇති අතර, ඇමෙරිකා එක්සත් ජනපද මුද්දරවල සැඟවුණ පණිවිඩ තහනම් කිරීම ඔවුන්ගේම රීතිය හර්ෂ්ෆෙල්ඩ් නිසා අත්හැර දැමීමට සිදුවිය.
පොත් කවර සහ පෝස්ටර් නිර්මාණය කිරීමටත් හර්ෂ්ෆෙල්ඩ් දක්ෂයකු විය. ඔහුගේ කලාව 1920 ගණන්වල සිට නවීන මෝස්තර හරහා ගමන් කර ඇත. 1928 ගිම්හානයේදී හර්ෂ්ෆෙල්ඩ් රුසියාවේ මාස හයක්ම ගත කළේය. නිව්යෝර්ක් හෙරල්ඩ් ටි‍්‍රබියුන් වාර්තාකරු ලෙස ද ඔහු රුසියාවේ සිනමාහල්වල සහ චිත‍්‍රපට කර්මාන්ත ශාලාවල ප‍්‍රධානීන් සමඟ සම්මුඛ සාකච්ඡුා කළේය. ඔහු රුසියාවේ සිට ආපසු පැමිණෙන විට ඉතා අලංකාර ලෙස නිදර්ශන පොතක් ප‍්‍රකාශයට පත්කිරීමට සැලසුම් කළ නමුත් ඔහුගේ ප‍්‍රකාශකයාට දීමට තිබූ පොතේ රූපසටහන් ඇතුළු අත්පිටපත අතුරුදන් විය. ඉතිරිව ඇති එකම කෘතීන් වූයේ බ්ලූබ්ලවුස් නාට්‍ය කණ්ඩායමයේ අධ්‍යක්‍ෂ ‘බොරිස් යුජානිස්’ ගේ අතලොස්සක් චිත‍්‍ර ඇතුළු කෙටි කතා සහ කවි සඳහා ඇඳ තිබූ චිත‍්‍ර පමණි.
1931 දී හර්ෂ්ෆෙල්ඩ් ඔහුගේ ලෝක සංචාරය දිගටම කරගෙන ගියේය. ඔහු ෆැසිපික් සාගරයේ පිහිටි ‘ටහිටි’ “Tahiti” දූපත් වෙතට යාත‍්‍රා කළේය. කාලයක් එහි ගත කළ ඔහු ‘මිගෙල් කොටර්රුබියාස්ගේ ආරාධනයෙන් ‘බාලි’ වෙත ගියේය. බාලි හිදී ඔහුට සූර්යයා සියලූ වර්ණයෙන් විරංජනය කරන බවත් (විරංජනය යනු වර්ණවත් ද්‍රව්‍යයක වර්ණය විවිධ උපක‍්‍රමවලින් ඉවත් කිරීම. සුදු කිරීම) පෙනෙන්නට තිබුණි. සියල්ල පිරිසිදු රේඛාවකින් ඉතිරි විය. මිනිස්සු එහා මෙහා ඇවිදින රේඛා චිත‍්‍ර බවට පත්වුණා යි ඔහු තම අත්දැකීම් ගැන ලිවීය. චිත‍්‍ර ඇඳීමට මගේ ආකර්ෂණය රේඛාව සමග මගේ කල් පවත්නා පේ‍්‍රමයක් දක්වා වර්ධනය වූයේ බාලිහිදීය. ඔහු පැවසීය. ඔහුගේ විදේශ සංචාර සහ එමගින් ඔහුගේ චිත‍්‍ර කලාවට වූ බලපෑම ගැන හර්ෂ්ෆෙල්ඩ් මෙසේ සටහන් කරයි. ‘යුරෝපයේ මිහිදුම තුළ පොහොසත් සශ‍්‍රීක සමෘද්ධිමත්වීම අහම්බයක් නොවන බව මම සිතමි. ග‍්‍රැෆික් කලාව – ඊජිප්තුවේ සිට පර්සියාව හරහා ඉන්දියාව දක්වා සහ පැසිෆික් සාගරය දක්වා වූ දූපත් සූර්යාගේ බලපෑමට ලක්වේ. බටහිර චිත‍්‍ර ශිල්පීන්ගේ බලපෑමට වඩා හරුනොබූ ‘උටමාරෝ’ සහ හොකුසායිගේ චිත‍්‍ර මට බලපෑවේය.
මෙක්සිකානු ග‍්‍රැෆික් උරුමය සිහින් ප‍්‍රංශ රේඛාව හර්ෂ්ෆෙල්ඩ් පැරිසියේදී සොයා ගන්නා අතර එය ඇමරිකානු නිදර්ශන ජෝන් හෙල්ඩ් ජූනියර්ගේ කෘතියෙන්ද සොයා ගන්නා ලදී. (හෙල්ඩ් 1920 ගණන්වල අගභාගයේදී MGM හි ප‍්‍රචාරක අංශයේ හර්ෂ්ෆෙල්ඩ් සමඟ එක්ව කටයුතු කළේය.) ජර්මානු සඟරාවේ ප‍්‍රදර්ශනය වූ නිර්භීත චිත‍්‍ර විලාසය සිම්ප්ලිසිසිමස්, මෙන් හොකුසායි මුද්‍රණ පොතකින් සොයාගත් ජපන් දැව කැපීමේ රේඛාව සහ ඉදිරි දර්ශනය කෙරෙහි ඇල්මක් දක්වයි. බුද්ධිමය වශයෙන් ඔහු මේ සියලූ බලපෑම් උකහාගෙන ඒවා පුද්ගලීකරණය කර විකට චිත‍්‍ර ලෙස හැඳින්වෙන ප‍්‍රීතිමත් ජීවිතයක් තහවුරු කරන රේඛාවක් බවට පරිවර්තනය කළේය.
හර්ෂ්ෆෙල්ඩ් වාමාංශිකයන්ගේ වඩාත් ප‍්‍රකාශිත සඟරාවක් වන New Masses වෙත සහ ඇලෙක්සැන්ඩර් කිං සමඟ සංස්කරණය කළ උපහාසාත්මක සඟරාවක් වන American වෙත දේශපාලන චිත‍්‍ර සහ පිටකවර සපයා ඇත. 1940 ගණන් වලදී ඇමෙරිකානු මර්කරි කවරවල අද්මිරාල් චෙස්ටර් නිමිට්ස් සහ විචාරක වෝල්ටර් ලිප්මන්ගේ ඡුායාරූප වැනි දේශපාලන චරිතවල හර්ෂ්ෆෙල්ඩ්ගේ සිතුවම් නිතිපතා ඇතුළත් විය.
හර්ෂ්ෆෙල්ඩ්ගේ සමීපතම මිතුරන් බොහෝ දෙනෙක් ලේඛකයන් වන අතර ඔහු ජීවිත කාලයම මාධ්‍යවේදීන් අතර ගතකර ඇත. පුවත්පත් නිදර්ශනයක් සඳහා හෝ වෙනත් ව්‍යාපෘතියක් සඳහා ඔහු ඔහුගේ කටුසටහන් පොතේ මූලික අදහස් සහ සැලසුම් සටහන් කරයි. ඉන්පසු ඔහු එම ආරම්භක හැඟීම කතුවැකියකින් තොරව තම විෂයෙහි ස්වභාවය ග‍්‍රහණය කරන කෘති බවට පරිවර්තනය කිරීමට ඔහුගේ චිත‍්‍රාගාරයට පැමිණේ. හර්ෂ්ෆෙල්ඩ් විනිශ්චය නොකරයි. ඔහු අදහස් දක්වන්නේ නැත. ඔහු ඔහුගේ ඇස්වලින් පෙනෙන ආකාරයට ලෝකය ඉදිරිපත් කරයි.
හර්ෂ්ෆෙල්ඩ්ගේ කාටුන් චිත‍්‍ර ස්ථිරව ප‍්‍රදර්ශනය කරන ආයතන ගණනාවක් ඇත. ඒවා නම්, මෙට්රෝපොලිටන් කලා කෞතුකාගාරය, එහිම නූතන කලා කෞතුකාගාරය, නිව්යෝර්ක් මහජන පුස්තකාලය, හාවඩ් විශ්වවිද්‍යාලය සහ ටෙක්සාස් හි හැරී රැම්සම් මධ්‍යස්ථානය හර්ෂ්ෆෙල්ඩ් ජීවිත කාලය පුරාවටම ‘ටෝනි සම්මාන’ දෙකකින් පිදුම් ලබා ඇත. 2003 ජූනි 21 වැනි දින සිට බ්‍රෝඩ්වේහි මාටින් බෙක් රඟහල ‘අල් හර්ෂ්ෆෙල්ඩ් රඟහල’ ලෙස නම් කරන ලදී. හර්ෂ්ෆෙල්ඩ් ශාන්ත ලූවී වෝක් ඔෆ් ෆේම්’ හි තරුවක් පිරිනමා ඇත. 2022 දී අල් හර්ෂ්ෆෙල්ඩ් හට ජාතික කලා පදක්කම පිරිනමන ලදී. ඔහු සල්මගුන්ඩි සමාජයේ ගෞරවනීය සාමාජිකයෙක්ද විය.
දශක ගණනාවක් තිස්සේ රේඛීය චිත‍්‍ර මගින් කාටුන් කලාවක් හඳුන්වා දුන් අල් හර්ෂ්ෆෙල්ඩ් 2003 ජනවාරි 20 වැනි දින මෑන් හැටන්හි 95 වැනි වීදියේ පිහිටි ඔහුගේ නිවසේදී ස්වභාවික හේතූන් මත මිය ගියේය. එවිට ඔහුගේ වයස අවුරුදු 99 කි.
රුවන් තරස්වින්
tharaswin@gmail.com