ඉන්දීය පැරා පදක්කම් දිනූ දිරිය දියණියෝ දිවයිනට එති

122

05 වන ඉන්දීය විවෘත පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කර රන් පදක්කමක් , රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනූ ජනනි ධනංජනා සහ කුමුදිකා ඩයනි ක්‍රීඩිකාවෝ දෙදෙනා පෙරේදා (08 වැනිදා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියහ.

බැංගලෝරයේ දී දකුණු ආසියානු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් මෙම තරඟාවලිය පැවැත්විණි.

එහිදී ජනනි ධනංජනා මීටර් 100 ඉසව්වෙන් රන් පදක්කමත්, දුර පැනීම ඉසව්වෙන් රිදී පදක්කමත්, මීටර් 200 ඉසව්වෙන් ලෝකඩ පදක්කමත් දිනා ගැනීමට සමත් වූවාය. 18 හැවිරිදි ඇය කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවකි. කුමුදිකා ඩයනි ක්‍රීඩිකාව මීටර් 100 සහ 200 ඉසව්වලින් රිදී පදක්කම් සහ දුර පැනීම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියාය. මාතර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි ඇය රුහුණ විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවකි.

ඔවුන් දෙදෙනා පිළිගැනීම සඳහා ජාතික පැරාලිම්පික් සංගමයේ සභාපති කර්නල් දීපාල් හේරත්, රුහුණ විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ කීර්ති කුමාර, රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සහ මෙම ක්‍රීඩිකාවන්ගේ දෙමාපිය නෑදෑ හිතවතුන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment