කටුනායක මාරක රිය අනතුරින් යතුරුපැදිකරු මරුට

52

කටුනායක, ඇවරිවත්ත නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩාංගණය ඉදිරිපිට දී 10 දින පස්වරු 04.30 ට පමණ වෑන් රථයක් සහ යතුරුපැදියක් මුහුණට ගැටීමෙන් සිදු වූ මාරක රිය අනතුරකින් එම යතුරුපැදියේ ගමන් ගත් යතුරුපැදිකරු මියගොස් ඇති බව කටුනායක පොලිසිය පවසයි.

මෙම යතුරුපැදිකරු උතුරු කොළඹ ශීක්ෂණ රෝහලේ සේවයේ නිරත හෙද සහයකවරයකු වන කටුනායක වලානගොඩ පදිංචි වික්‍රමනායක පතිරන්නැහැලාගේ හර්ෂ මධුසංඛ නැමැති 36 හැවිරිදි දෙදරු පියෙකි.

කෝවින්න ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි සංචාරක ව්‍යාපාරයේ නිරත වෑන් රථයක් පැයට කිලෝ මීටර් 100 ක පමණ වේගයෙන් ගුවන් තොටුපළ දෙසට ධාවනය කරමින්, ඉදිරියෙන් ගමන් කළ බස් රථයකට ඉස්සර කිරීමට යෑමේදී ඉදිරි පසින් පැමිණි යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ.

මෙම අනතුර සිදුවීමත් සමග වෑන් රථය මීටර් 40 ක් පමණ දුරක් යතුරුපැදිය තල්ලු කර ගෙන ඉදිරියට ඇදී ගොස් තිබූ අතර එයින් යතුරුපැදිය කොටස් දෙකකට කැඩී වෙන් වී පැවති බව ද මේ පිළිබඳ විමර්ශන සිදු කරන පොලිස් නිලධාරිවරයකු පැවසීය.

කටුනායක මාරක රිය අනතුරින් යතුරුපැදිකරු මරුට

පොලිසිය විසින් මෙම වෑන් රථය පදවා ගෙන පැමිණි රියැදුරුවරයා අත්අඩංගුවට ගෙන මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර ඇති අතර ඉන් පසුව ඔහු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ද ඉදිරිපත් කර තිබේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුලතුංග මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්. ඒ. සිසිර කුමාර සහ පොලිස් කොස්තාපල් 82182 පතිරාජ යන මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති.

ගුවන්තොටුපළ – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment