කැදැල්ල කඳුළින් නිමාකළ යක්කලමුල්ලේ ඛේදවාචකය එක්දරු මව මරුට

39

එක්දරු මව මරුට

පෙර පාසලේ යහළු දරුවාගේ නිවසට අවුරුදු ගමනක් යෑමේදී ජීප් රථයක් පටු මාර්ගයෙන් ඉවතට පැන යක්කලමුල්ල, වෙලන්ගහ, හේනදෙනිය ප්‍රදේශයේදී අඩි 150ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් ජීප් රථයේ ගමන්ගත් තරුණ එක්දරු මවක් මරුමුවට පත්වී ඇගේ පස් හැවිරිදි දියණිය ඇතුළු තිදෙනකු බරපතළ තුවාල ලබා කරාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි යක්කලමුල්ල පොලිසිය පවසයි.

පෙරේදා (17 දා) රාත්‍රී සිදුවූ මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ අය අතරේ මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා, නැන්දණිය සහ ඇගේ පස් හැවිරිදි සිඟිති දියණියද සිටින බව පොලිසිය පවසයි.

ජීප් රථය පදවා ඇත්තේ මියගිය කාන්තාවගේ සැමියා බව පොලිසිය කියයි.

යක්කලමුල්ල පෙර පාසලක ඉගෙනුම ලබන තම දියණියගේ යහළුවකුගේ නිවසට අවුරුදු ගමනක් යමින් සිටියදී පෙරේදා රාත්‍රී 7.00ත් 7.30ත් අතර කාලයේදී පටු මාර්ගයකදී ජීප්රිය පාරෙන් ඉවතට පැන පෙරළී ඇත.

රථය ප්‍රපාතයට පෙරළෙන අතරතුරේදී මියගිය කාන්තාවගේ නැන්දණිය හා දියණිය ජීප් රථයෙන් ඉවතට වීසි වී ඇත. ප්‍රපාතයට පෙරළී ගිය ජීප් රථයෙන් අවසන් වරට එළියට වීසිවී ඇත්තේ මියගිය කාන්තාව බව පොලිසිය කියයි. ජීප් රථයේ ඇමිණුනු ගලක් ඇඟ මත පෙරළීමෙන් බරපතළ තත්ත්වයෙන් සිටි එම කාන්තාව රෝහල් ගත කිරීමට ප්‍රදේශවාසීහු පියවර ගත්තද ඇය ඒ වන විටත් මියගොස් සිටි බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ යක්කලමුල්ල, ගල්අමුණ පදිංචිව සිටි සුරංජි ඉමාෂා නමැති 29 හැවිරිදි එක්දරු මවකි. අනතුරෙන් ජීප් රථයටද දැඩි අලාභහානි සිදුවී ඇත.

මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබිණ.

මේ පිළිබඳව යක්කලමුල්ල පොලිසියේ ස්ථානාධිපති පො.ප. දමිත පෙරේරා මහතාගේ උපදෙස් මත රථවාහන විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. ජයලාල් මහතාගේ මෙහෙය වීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment