කැලණි ගඟට වීසිකළ දරුවාගේ මළසිරුර  වෙන්නප්පුවෙන් හමුවෙයි

984

වත්තල – හැඳල සහ මට්ටක්කුලිය අතර කැළණි ගඟ හරහා පිහිටි කදිරාන පාලමින් ඉකුත් බදාදා  (15 දා) රාත්‍රියේ මවක විසින් කැලණි ගඟට තල්ලු කර දැමූ පස් හැවිරිදි පිරිමි දරුවාගේ මළසිරුර ඉකුත්  17 දා පස්වරුවේදී වෙන්නප්පුව පොලිස් වසමට අයත් වයික්කාල වෙරළින් හමුවී ඇත.

දරුවාගේ සිරුර මිත්තනිය විසින් වෙන්නප්පුවේදී තම මුණුබුරාගේ බවට තහවුරු කර ඇතැයි වත්තල පොලිසිය පැවසීය. පශ්චාත් මරණ පරීක්ෂණය වෙන්නප්පුවේදී සිදු කිරීමට නියමිතය.

මෙම ශෝචනීය ඉරණමට ගොදුරු වී ඇත්තේ වත්තල, හේකිත්ත ක්‍රිස්තුරාජ විදුහලේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සස්මික ප්‍රභාෂ්වර නමැති සිසුවෙකි.

ජීවත් වීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටි තමන් මෙවන් තීරණයක් ගත් බවට අපස්මාර රෝගයෙන් සහ මන්ද මානසික තත්ත්වයෙන් පෙළෙන සිද්ධියට අදාළ මව පොලිසියට පාපොච්චාරණය කර තිබිණි.

වත්තල පොලිසිය මගින් අදාළ කාන්තාව වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර අදාළ කාන්තාව මනෝ වෛද්‍යවරයකු වෙත යොමුකර ලබාගත් වාර්තාවක් ඉදිරි නඩු  විභාගයේදී ඉදිරිපත් කරන ලෙසටද නියෝග කර ඇත.

හැඳල – පී. ජේ. ස්ටැනිස්ලස් සහ වත්තල – සරත් චින්තක


advertistmentadvertistment