චෝදනා 19න් 18කට වරදකරු

වසර 3ක සිරදඬුවම්

තුන් ලක්ෂ හැට දහසක දඩයකුත්

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දේශපාලනයට එන්නට පෙර නිරූපිකාවකි. මීට අවුරුදු ගණනාවකට පෙර ඇය තම නිරූපණය නවතා දේශපාලනයට පිවිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූවාය. ඇගේ හඬ මෙරට දේශපාලන වේදිකාවේද, පාර්ලිමේන්තුව තුළද ගිඟුම් දෙන්නට වූයේ සිය පියාගේ දේශපාලන අඩිපාරේ යන්නට ඇය තැබූ වෑයම නිසා විය හැකිය.

හිරුණිකාගේ චණ්ඩිකම් පිළිබඳ මුලින්ම රටේ ජනමාධ්‍ය දැනගත්තේ දෙමටගොඩදී තරුණයෙකු පැහැරගැනීමේ සිද්ධියත් සමගය. මාධ්‍ය මගින්ද ඊට ඉහළ ප්‍රචාරයක් දෙන්නට විය.

දෙමටගොඩ දුම්රිය මඟ හරහා ඇති ගුවන් පාලම ආසන්නයේ තිබෙන ලකී ස්ටාර් ටෙක්ස්ටයිල් නමැති රෙදි කඩයේ අමිල ප්‍රියංග අමරසිංහ නමැති තරුණයෙක් සේවයේ යෙදී සිටියේය.

උත්සව සමය හෙයින් ඒ දිනවල තිබුණේ කාර්යබහුල බවකි. මේ අතර පිම්මේ පැමිණි කලු පැහැති ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් රෙදි කඩය ඉදිරිපිට නතර කළේය. ඉන් බැස ගත් හැඩි දැඩි මැරයෝ හයදෙනකු රෙදි කඩය තුළට ගොස් රෙදි කඩයේ සේවය කරමින් සිටි තරුණයාගේ අතකින් අල්ලාගෙන පසෙකට රැගෙන ගොස් කුමක්දෝ විමසන්නට වූහ. අවසානයේ කෝපයෙන් වියරු වූවන් මෙන් හැසිරෙන්නට වූ ඒ මැරයෝ තරුණයාගේ බෙල්ලෙන් අල්ලාගෙන රෙදි කඩයෙන් පිටතට ඇදගෙන විත් ඩිෆෙන්ඩරය තුළට දමාගෙන ඉගිල ගියහ.

මෙහිදී නිශ්චිතවම සිදු වූයේ පැහැර ගැනීමකි. පසුගිය කාලයේ මෙරට දේශපාලන වේදිකාවල රැව් පිළිරැව් දුන් එක් කතාවක් වූයේ සුදු වෑන්වලින් මිනිසුන් පැහැර ගන්නේ යැයි යන්නය. කොලොන්නාවේ මෙම පැහැර ගැනීමේ සිද්ධියේ ප්‍රධාන භූමිකාව හෙබවූයේ හිරුණිකාය.

වෙනදා පැහැර ගැනීමට යොදාගත්තේ සුදුවෑන්ය. එහෙත් රෙදි කඩයේ තරුණයා පැහැරගෙන යෑමේදී මැරයන් කලු ඩිෆෙන්ඩරයක් යොදා ගැනීමෙන් අපූරු වෙනසක් කළහ. ඒ වෙනස මාරය. එහෙත් කතාව තවම හමාර නැත. රෙදි කඩයේ තරුණයා පැහැරගෙන යෑමෙන් පසු එහි පැමිණි පොලිසිය පරීක්‍ෂණ සිදුකළ පරීක්‍ෂණද එතරම් සතුටුදායකද වූයේ නැත.

පොලිස් නිලධාරීහු රෙදි කඩය වෙත ආහ. පසුව ඔවුහු එහි සීසීටීවී කැමරා පද්ධතිය පරීක්‍ෂා කරන්නට වූහ. තරුණයා පැහැරගත් අන්දම සහ ඔහුව රැගෙන ගිය ඩිෆෙන්ඩර් රථයේ අංකය පවා එකී සීසීටීවී දර්ශනවල මනාව සටහන්ව තිබිණි. පසුව පොලිසිය එම දර්ශනවල සඳහන් ඩිෆෙන්ඩර් රථයේ අංකය පරීක්‍ෂා කරන්නට විය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙම කතාවේ ප්‍රධාන සැකකාරිය පමණක් නොව එයට දායක වී ඇති වග පොලිසිය වටහා ගන්නේ එහිදීය. ඒ අනුව ඩිෆෙන්ඩර් රථයේ හිමිකාරිය වූයේ කොලොන්නාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රය. පසුව පොලිසිය ඇගෙන් සිද්ධිය පිළිබඳ විමසන්නට විය.

“මැඩම්… මැඩම්ගෙද මේ වාහනේ..? ප්‍රශ්නයක් නැහැ මැඩම්.. මොකක්ද වුණේ කියන්න කෝ.. අපිට…’

‘ඔව් මගේ ජීප් එක තමයි..

ගිහින් තියෙන්නේ මගේ කොල්ලෝ ටික… මම එයාලව ඉදිරිපත් කරවනවා..’ දුරකථනය විසන්ධි විය.

ඇය මාධ්‍ය කැමරා රැසක් ඉදිරියේ මෙසේ කියන්නට වූවාය.

‘කොලොන්නාවේ හිටියා

පහුගිය මැතිවරණ කාලේ මට ගොඩක් උදව් කරපු කෙනෙක්… එයා මගේ ආරක්‍ෂකයන්වත් හොඳට අඳුරනවා.. ඒ මනුස්සයගේ බිරිඳව ඔය රෙදි කඩේ කොල්ලා අරගෙන ගිහිල්ලා.. එයා පහුගිය දවසක ඇවිත් මට මේ ගැන කිව්වා.. මම ඒක විසඳන්න හැදුවා.. මේ අතරේ තමයි මම දන්නෙත් නැතුව ඒ මනුස්සයා මගේ ආරක්‍ෂකයොත් එක්ක ජීප් එකෙන් ගිහින් මේ වැඩේ කරලා තියෙන්නේ..’

කෙසේ වෙතත් මෙහිදී මතුවන තවත් ගැටලුවක්ද ඇත. හිරුණිකා ප්‍රේමචන්ද්‍රට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වීම නිසාම පොලිසියේ ආරක්‍ෂාවක් රජය මගින් ලබා දී ඇත. එසේ තිබියදී ඇය පෞද්ගලික ආරක්‍ෂයන් ලෙස මෙසේ මැර පිරිසක් නඩත්තු කරනුයේ කුමකටද?

ප්‍රශ්න එසේ තිබියදී පැහැරගත් තරුණයා මාධ්‍ය කැමරා ඉදිරියේ සිට මෙසේ කීය.

‘පැහැරගත්තට පස්සේ ඒ මැරයෝ මාව අරගෙන ගියේ කොලොන්නාවේ තියෙන හිරුණිකාගේ කාර්යාලයට.. මාව ගෙනියනකොට හිරුණිකා කාර්යාලයේ වාඩි වෙලා හිටියා.. පස්සේ එයා නැගිටලා මේසේ උඩ ඉඳගෙන ‘උඹව මට ඕන වෙලාවක උස්සනන් පුළුවන්.. මම උඹට කිව්වනේ මේක විසඳගනින් කියලා’ කියමින් මට තර්ජනය කළා.. එවෙලේ මම ඇයගෙන් ඇහුවා ඇයි මාව පොලිසියට අරන් යන්නේ නැතුව මෙහෙම පැහැරගෙන ආවේ කියලා.. එතකොට හිරුණිකා කිව්වා ‘උඹට ඕනේ නම් උඹ පොලිසියට පලයං.. මම ප්‍රශ්න විසඳන්නේ මට ඕන විදිහට’ කියලා.. පස්සේ මට ඔවුන් පහර දුන්නා.. මරණ තර්ජන කළා..’

තරුණයා කියන පරිදි දේශපාලන කාර්යාලයේ සිටි හිරුණිකා පුටුවෙන් නැගිට විත් තමන්ගේ කැලෑ නීතිය ගැන නන් දොඩවන අතරේ තරුණයාට තර්ජන කරමින් ඇය සිකුරටම වාඩි වූයේ මේසය මත නොව තමන්ගේ මෂ්තිස්කය උඩ විය යුතුය.

පැහැරගත් තරුණයා මැරයන්ගෙන් ගැලවී කෙළින්ම එන්නේ පොලිසියටය. තමන්ට වූ ඇබැද්ධිය පිළිබඳ ඔහු පැමිණිලි කරන්නේය. ඒ හිරුණිකා කොලොන්නාව දේශපාලන කාර්යාලයේදී සිදු කළ තර්ජන පිළිබඳව සහ සිදු වූ පහරදීම් ගැනය.

ඉන්පසු තරුණයා පැහැරගත් මැරයන් පොලිසියට භාර වීමෙන් පසු අධිකරණයට අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර බන්ධනාගාරගත කෙරෙන්නේය. එහිදී අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ වැඩිදුර විමර්ශනවල උඩෘත සලකා බැලූ අතර නීතිපතිවරයා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හා ඇගේ පෞද්ගලික ආරක්ෂකයන් අටදෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ 2016.08.07 වැනිදා අධිචෝදනා ගොනු කර නඩු පවරා තිබිණි. එකී නඩු විභාගය අතරතුරදි සෙසු විත්තිකරුවන් අටදෙනා සාපරාධී, බියගැන්වීම ඇතුළු චෝදනාවලට වරද පිළිගෙන දඬුවමට යටත්ව තිබිණි. එම නඩුවේ නව වන විත්තිකාරිය ලෙස නම් කොට තිබූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදාළ චෝදනාවලට වරද පිළිනොගැනීම නිසා සාක්ෂි කැඳවා විභාගයක් පැවැත්වීමට මහාධිකරණ තීරණය කොට තිබූ අතර පැමිණිල්ලේ විත්තියේ සාක්ෂි අවසන් වීමෙන් අනතුරුව පසුගිය 14 වැනිදා විවෘත අධිකරණය හමුවේදී දෙපාර්ශ්වයේ දේශන පවත්වා තිබිණි.

28 වැනිදා උදෑසන එම නඩුව යළි කැඳවීමෙන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරිපත් වූ සියලු සාක්ෂි අනුව චෝදනා 18කට විත්තිකාරිය වරදකාරිය බවට තම අධිකරණය තීරණය කළ බව විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව අධිකරණය ඇමතු නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා මෙසේ පැවසීය.

විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ චෝදනා 18කට විත්තිකාරිය වැරදිකාරිය බවට ඔබතුමාගේ ගරු අධිකරණය මේ වනවිට තීරණය කර අවසන්. එනිසා මා ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා විත්තිකාරියට අත්හිටුවූ සිරදඬුවම් නොව සක්‍රිය සිරදඬුවම් ලබාදෙන ලෙස. විත්තිකාරිය එම වරද සිදු කරන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්. ඇය ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත් වූ අයෙක්. ඇය එම මන්ත්‍රී ධුරයේ බලතල යොදවලා තියෙන්නේ ඇයගේ හිතවතෙකුගේ පවුල් ප්‍රශ්නයක විසඳන්නයි. අනෙක් විත්තිකරුවන් අටදෙනාම මුල් අවස්ථාවේදීම වරද පිළිගත්තා. නමුත් තමන් සිදු වූ එම වරද පිළිගන්න තරම්වත් විත්තිකාරිය නිහතමානී වුණේ නෑ.

තමන්ගෙන් ප්‍රකාශය ලියාගත්තු පොලිස් නිලධාරීන් පවා අධිකරණයට කැඳවලා සාක්ෂි ලබාගන්න පවා පියවර ගත්තා. විත්තිකාරිය දරපු තනතුරු හෝ වෙනත් අවශේෂ කරුණු පැමිණිල්ලට හෝ ගරු අධිකරණයට අවශ්‍ය නෑ. ඇය වැනි වෙනත් අය එවැනි වැරදි කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒ අයටත් පාඩමක් කියාදෙන පරිදි සක්‍රිය සිරදඬුවම් නියම කරන ලෙස අධිකරණය ඉල්ලා සිටිනවා.

එහිදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා මෙසේ පැවසීය.

මගේ සේවාදායිකාව ඉතාමත් ජනප්‍රිය සමාජ ක්‍රියාකාරිනියක්. ඇයට පෙර වැරදි කිසිවක් නෑ. තිදරු මවක් වන ඇයට සක්‍රිය සිරදඬුවම් ලබාදුන්නොත් අවුරුදු 7, 5 සහ 3 වයස්වල පසුවන ඇගේ දරුවන්ට විශාල අගතියක් සිදුවෙනවා. ඇය මේ රට තුළ සිදුවන විවිධ විෂමාචාර ක්‍රියාවලට එරෙහිව නැඟී සිටි සමාජ ක්‍රියාකාරිනියක්.

දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු අමල් රණරාජා මහතා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට දෙමටගොඩදී තරුණයකු පැහැරගෙන යාම සඳහා අයුතු ජනරාශියක නිරත වූ සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්ට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 18කට වැරදිකාරිය කරමින් බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම කළේය.

විත්තිකාරිය ඇයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අධිචෝදනා පත්‍රයේ සඳහන් අධිචෝදනා 19න් 18කටම වරදකාරිය බවට නිගමනය කළ විනිසුරුවරයා වෙන් වෙන්ව වසර 33ක සිරදඬුවම් නියම කර එකී සිරදඬුවම් එකවර එනම් වසර තුනකින් ගෙවීයන ලෙස ලබාදීමට නියෝග කළේය. එයට අමතරව එම විත්තිකාරියට රුපියල් තුන් ලක්ෂ හැට දහසක දඩයක්ද නියම කළ විනිසුරුවරයා එම දඩය නොගෙවන්නේ නම් එක් එක් චෝදනාවකට මාස හය බැගින් වූ ලිහිල් සිරදඬුවම් ලබාදීමට ද නියෝග කළේය.

මේ වනවිටත් රටේ බොහෝ මැති ඇමැතිවරු කටයුතු කරන්නේ නීතිය තමන්ගේ බූදලයක් යැයි සිතමිනි. නීතිය අතට ගෙන කටයුතු කරන කාටත් මෙම දඬුවම හොඳ පාඩමකි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment