ලක්දිව ජයවර්ධනය කළ ජේ.ආර්. ජයවර්ධන

880

ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 117 වැනි ජන්ම සමරුව

ජේ.ආර්. ජයවර්ධන අගමැති පදවියට පත්වූ පසුව නව ආණ්ඩු ක්‍රමයක් තුළින් විධායක ජනාධිපති පදවිය ලබා, මුළු රටම සංවර්ධන යුගයකට යොමු කළේ එතුමා තුළ අතීතයේ සිට තිබුණු මානවවාදී සංකල්ප ක්‍රියාවට නංවමිනි. කැල්කියුලේටරයේ සිට කම්පියුටරය දක්වා ලංකාවට හඳුන්වා දුන් ජේ.ආර්. ජයවර්ධන මහතා ලංකාවේ අගනුවර, පාර්ලිමේන්තුව ආදී සියල්ල වෙනස් කළේ නව මඟක් ගත් නායකයෙකු ලෙසිනි.

ජේ.ආර්. ජයවර්ධන යනු කියවා අවසන් කළ නොහැකි චරිතයකි. සියුම් ලෙස අධ්‍යයනය කළ යුතු සහ පර්යේෂණයට භාජනය කළ යුතු චරිතයකි. බොහෝ ඇසූ පිරූ තැන් ඇතිව, අති විශාල දේශපාලන අත්දැකීම් රාශියක් ලද දේශපාලන නායකයකු වූ ජේ.ආර්. ජාතිවාදී, ආගම්වාදී, කුලවාදී, වර්ගවාදී කොටු පවුරු බිඳ දේශපාලනයේ යෙදුනු නායකයෙකි. ඔහුගේ දූරදර්ශී සැලසුම් හා දැක්ම 1977 වසරේ සිට 1988 දක්වා වසර 11ක් මෙරට තුළ ක්‍රියාත්මක කළේ ජන සුවසෙත පිණිසය.

අද වන විට එක්සත් ජාතික පක්ෂය සිය 77 වැනි සංවත්සරය පසුකරමින් ඔහුගේ 117 වැනි ජන්ම දිනය සමරන මේ මොහොතේ කියන්නට ඇත්තේ, ඔහුගේ දේශපාලන ජීවිතයේ ඉතිහාසය පක්ෂය තුළ නැවත ප්‍රතිනිර්මාණය වෙමින් ඇති බවකි.

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ ඡන්ම දිනයත් අදට යෙදී තිබෙන හෙයින් මෙම දිනයේ වැදගත්කම ජාතික ආගමික හා දේශපාලනික වශයෙන් කොතරම් වැදගත්දැයි අපට සිතාගත නොහැක.

ජේ. ආර්. ජයවර්ධන යන නම කියැවෙන ඕනෑම මොහොතක, එක්සත් ජාතික පක්ෂය යන නම ඈඳාගත නොහැකි කිසිදු අවස්ථාවක් ඉතිහාසය තුළ දක්නට නොවේ. ඒ නිසාම, ජේ. ආර්. ජයවර්ධන ගැන කතා කරනවා යනු, සැබැවින්ම එක්සත් ජාතික පක්ෂය පිළිබඳ සාකච්ඡාවකි. එය, ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පියා වන ඊ. ඩබ්ලිව් ජයවර්ධන මැතිතුමා මැදිහත්ව, එකල අමද්‍යප සභාව යන සිවිල් සංවිධානය ලංකා ජාතික සංගමය යන දේශපාලන සංවිධානය බවට පත් කිරීම තෙක්ම ආපස්සට දිව යන්නකි.

ශ්‍රී ලංකාවේ අනෙකුත් දේශපාලන පක්ෂවලට වඩා එක්සත් ජාතික පක්ෂය විචිත්‍රවත් එකක් වන්නේ, එහි අන්තර්ගතය තුළ තිබූ ජාති, ආගම් භේද සියල්ල පසෙකින් තබා රට පමණක්, අරමුණු කරගත් නිසාවෙනි.

ජේ.ආර්. ජයවර්ධන මහතා ලියූ පොත් පත් අතර එක් පොත් පිංචක් වන්නේ “බුද්ධ ධර්මය හා මාක්ස්වාදය“ යන්නයි. එම පොත තුළින් කියන කරුණුවලින් අතීතයේදී එතුමා වර්තමානය දුටු හැටි මෙසේ ලියා ඇත.

“මාක්ස්වාදය නමැති දර්ශනය ලංකාවද අල්ලා ගැනීමට දඟලයි. මාක්ස් අනුගාමිකයන් ස්ටාලින්වාදීහුය, ට්‍රොස්කිවාදීහුය යනාදී වශයෙන් මව් ගසේ අතු, ඉතිවලට බෙදී ගොස් ඇතත් ඔවුන් සියල්ලෝම බුද්ධ ධර්මයටත්, අනෙක් අවශේෂ ධර්මවලටත් එකසේ සතුරුකම් කරති. එහෙයින් අප ආදරය කරන්නාවූද යටහත් පහත් ලෙස අදහන්නට බලාපොරොත්තු වන්නාවූද අපේ ආගම්වලට විරුද්ධව මාක්ස්වාදයෙන් කෙරෙන මේ අභියෝගයනට අප නොරැවටෙමු.

මේ උතුම් ආගම්වලින් අපට දෙන, වදාරන පාඩම් අමතක කර දමා ඒ වෙනුවට මාක්ස් මිථ්‍යාව තහවුරු
කරගැනීමට මාන බලන පුද්ගලයන් සමඟ රණ්ඩු සරුවල් කරගැනීමට අපට උවමනා නැත. මේ නිදහස් රටෙහි වෙසෙන නිදහස් ජනතාවට නිදහස් ලෙස සිතා මතා තමන්ට ගැළපෙන ආගමක් ඇදහීමට සම්පූර්ණ ලෙස නිදහස ඇත්තේය. එහෙත් අප විසින් සුපරීක්ෂාකාරීව තේරුම්කර ගතයුතු කාරණයක්ද ඇත්තේය. එනම් මාක්ස්වාදය සියලුම උතුම් ශාස්තෘවරයන්ගේ ඉගැන්වීම්වලට විරුද්ධ බවත්, කිසිම බෞද්ධයෙකුට, කිසිම ක්‍රිස්තියානි බැතිමතෙකුට, කිසිම හින්දු බැතිමතෙකුට, කිසිම මුස්ලිම් බැතිමතෙකුට මාක්ස්වාදියෙකු නොවිය හැකි බවත්ය“ යනුවෙනි.

අදට අවුරුදු 117 කට පෙර 1906 සැප්තැම්බර් මස 17 වෙනි දින උපත ලද ජේ.ආර්. ජයවර්ධන මහතාට හිමිවූ නම වූයේ ජූනියස් රිචඩ් ජයවර්ධන යන නාමයයි. ඔහුට ජූනියස් යන නම යෙදුනේ පියාගේ සොහොයුරෙකු වූ අකාලයේ මියගිය ජූනියස් ක්වින්ටස් ජයවර්ධන මහතා සිහිවීමට ඔහුගේ නමේ මුල් හැදින්වීම වූ “ජූනියස්“ යන්න යොදා ගැනීමෙනි. ඊළඟට රිචඩ් යන නම යෙදුනේ ජේ.ආර්. ජයවර්ධනයන්ගේ සොහොයුරු වූ ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෑණියන්ගේ පියාණන් වූ ඩී. ආර්. විජේවර්ධන හෙවත් දොන් රිචඩ් යන හැදින්වීම එකතු කර ගැනීමෙනි.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් ඉගෙනුම ලබා එම පාසලෙන්ම අධ්‍යාපනය නිමා කළ ජේ.ආර්. ජයවර්ධන මහතාට විදේශ අධ්‍යාපනය ලැබීම සදහා ලෝකයේ ඕනෑම සරසවියකට ඇතුළත් වීමට වත්කම තිබුණද කොළඹ යුනිවර්සිටි කොලීජියට ඇතුළත් විය. ජේ.ආර්. නීතිය හදාරා නීතිවේදියෙකු වශයෙන් සමාජ කරලියට පැමිණියේ විප්ලවවාදී තරුණයෙකු ලෙසය.

ලංකාවේ නිදහස් සටන උග්‍රව තිබූ අවධියේ ජේ.ආර්.ගේ තරුණ විය ගෙවී යමින් තිබුණි. ඔහු එකළ සිටි ලංකාවේ කම්කරු නායකයා වූ ඒ. ඊ. ගුණසිංහ මහතාගේ කම්කරු සටන්වලට නොමඳව සහය දුන්නේ ධනපති නිවාසයක වෙසෙන තරුණයෙකු ලෙසය. මේ යුගයේ ජාතික නායකයන් ආරම්භ කළ ලංකා ජාතික සංගමයේ සාමාජිකත්වය ලබාගත් ජයවර්ධන මහතා විටෙක ඩඩ්ලි සේනානායක මහතා සමඟ එකවර එම සංගමයේ සම ලේකම් පදවිය දැරීය.

1947 මහ මැතිවරණයෙන් මහජන මන්ත්‍රී මණ්ඩලයේ වැඩි ආසන ගණනක් ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂයේ නායක ඩී. එස්. සේනානායක අග්‍රාමාත්‍ය වශයෙන් නම් කරද්දී, එහි මුදල් අමාත්‍ය ධූරය හිමි වන්නේ, ජේ. ආර් ජයවර්ධනට වීම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එක් තීරණාත්මක තීන්දුවක් බවට පත් විය. ගල්ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹීමට මුදල් ඇමතිවරයා වශයෙන් අවශ්‍ය මුදල් වෙන්කළේ ද ජේ. ආර්. ජයවර්ධන මහතා විසිනි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන විප්ලවයක් ඇති කිරීමේ ගෞරවය එක්සත් ජාතික පක්ෂයට හිමි විය යුතුම ය. සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරයන්ට එහි ආචාරය හිමි විය යුතු වුවද, එහි මූලික අඩිතාලම නිර්මාණය කළ ජේ. ආර්. ජයවර්ධනගේ දූරදර්ශී දැක්ම බොහෝවිට තිරයෙන් පිටුපස වැසීගොස් තිබේ.

ලක්දිව ජයවර්ධනය කළ ජේ.ආර්. ජයවර්ධන

1956 දී “එක්සත් ජාතික පක්ෂය මිනී පෙට්ටියට දමා අවසන් ඇණයත් ගැසුවා“ යැයි බලයට පත්වූ බණ්ඩාරනායක මහතා උදම් අනන විට තම අසුන පරාජය වී ගෙදරට අවුත් සිටි ජේ.ආර්. යළි පක්ෂය ප්‍රතිසංවිධානය කර එම වසරේම එළඹුණ කොළඹ මහ නගර සභා ඡන්දයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීය. බණ්ඩාරනායක රජයේ අවසානය අරඹමින් ජේ.ආර්. පළවෙනි ඇණය ගැසුවේ පක්ෂයෙන් ඈත්ව සිටි සියලු දෙනා යළි එක්සත් ජාතික පක්ෂය වටා රොක් කරමිනි.

1965 දී එක්සත් ජාතික පක්ෂය ලද අති විශිෂ්ඨ ජයග්‍රහණය වඩාත් තහවුරු කරගත්තේ තවත් පක්ෂ 07ක් එකතු කර ජාතික රජයක් පිහිටුවා ඩඩ්ලි අගමැති කරවමිනි. එයින් වසර පහකට පසු බොරු පොරොන්දු ලබාදෙමින් ජනතාව නොමඟ යවා වාමාංශිකයන් සමඟ එකතු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික රජය පරදවා බලයට පැමිණ වසර කිහිපයකින් රටම දුප්පත්කමේ පතුලටම ඇද දමා වල් හබරළ, කෙසෙල් අල, මඤ්ඤොක්කා පොතු ආහාරයට ගන්නා යුගයක් නිර්මාණය කළේ අඟහරුවාදා සහ සිකුරාදා දින දෙකෙහි බත් කෑම තහනම් කරමිනි. රට පුරාම අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනිමට පෝලිම් නිර්මාණය වූ අතර මැතිනිය බලයට පත්කිරිමට විශේෂ උදවු උපකාර සිදුකළ රෝහණ විජේවීර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ සිදුකළ දේපළ විනාශ සහිත ත්‍රස්තවාදී කැරැල්ල ලෙයින් සහ යකඩයෙන් මර්දනය කළ මැතිනිය ජේ.වි.පී. නායකයින් සිරගත කර තැබුවේ ඔවුන් නිරුවත් කරමිනි.

වසර 05 කට ලබාගත් බලය තවත් වසර දෙකකින් මැති සබය හරහා දිගු කරගත් සිරිමා මැතිනියගේ රජය නිල නොලත් මිලිටරි ආණ්ඩුවක් ලෙස රට පාලනය කරන විට 1973 සැප්තැම්බර් 20 වැනිදා රජයට එරෙහිව ප්‍රථම සත්‍යග්‍රහය මෙහෙය වූ ජේ.ආර්. ජයවර්ධන මහතා සෑම සති අන්තයකම මහජන රැළි හතරකට සහභාගී වූයේ වැටුණු රටක ජනතාවක් නව මඟකට යොමු කරවමිනි. ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සියතට ගත් ජේ.ආර්. එක්සත් ජාතික පක්ෂය විනයවාදී පක්ෂයක් ඇතිකළේ නායකත්වයට අභියෝග කළ පක්ෂයේ දෙවන පෙළ නියෝජනය කළ නායකයන්ට පළමුවෙන් උපදෙස් දී එයත් නොතැකූ විට පක්ෂයෙන් එළියට ඇද දමමිනි.

මන්ත්‍රීවරු 17 ක් තිබූ එජාපයට 1976 වනවිට පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරු 23 ක බලයක් හිමිවී තිබුණි. 1977 මහ මැතිවරණය වනවිට රටේ නිල නොලත් අඟමැතිවරයා බවට ජේ.ආර්. ජයවර්ධන මහතා පත්ව තිබුණි. ජේ.ආර්. යන එන සියලු තැනට ජනතාව සිය දහස් ගණනින් එකතු විය. මේ නිසා 1977 ජූලි 01 වෙනි දින පැවති මහ මැතිවරණයට තනි පක්ෂයක් ලෙස තරඟ වැදුන එක්සත් ජාතික පක්ෂය මැති සබයේ 6/5 ක බලයක් හිමිකර ගනිමින් එදා මෙදා තුර මැති සබය තුළ තැබූ දේශපාලන වාර්තාව, දශක ගණනාවක් ගියද වෙනස් කිරීමට සමතෙක් මේ වනතෙක් ඡන්මය ලබා නැත.

ජේ.ආර්. ජයවර්ධන අගමැති පදවියට පත්වූ පසුව නව ආණ්ඩු ක්‍රමයක් තුළින් විධායක ජනාධිපති පදවිය ලබා, මුළු රටම සංවර්ධන යුගයකට යොමු කළේ එතුමා තුළ අතීතයේ සිට තිබුණු මානවවාදී සංකල්ප ක්‍රියාවට නංවමිනි.

කැල්කියුලේටරයේ සිට කම්පියුටරය දක්වා ලංකාවට හදුන්වා දුන් ජේ.ආර්. ජයවර්ධන මහතා ලංකාවේ අගනුවර, පාර්ලිමේන්තුව ආදී සියල්ල වෙනස් කළේ නව මඟක් ගත් නායකයෙකු ලෙසිනි. නිදහස් වෙළෙඳ කලාපය, මහ කොළඹ ආර්ථික කොමිසම, විවෘත ආර්ථිකය, කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය, පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීම, වප් මඟුල් උත්සවය, රාජ්‍ය සාහිත්‍ය උළෙල, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම, සංස්කෘතික ත්‍රිකෝණය ඇරඹීම, ප්‍රජා ගුවන් විදුලි සේවා ඇරඹීම, රූපවාහිනිය හදුන්වා දීම ජයවර්ධන ජනාධිපතිතුමාගේ දැක්මට අනුව සිදුවූ ජාතික මෙහෙවරයන්ය.

මේ වනවිට ජයවර්ධන මහතා දිවංගත වී වසර 27 කි. එතුමා උපත ලබා වසර 117 කි. අප රටේ නායකයන් කිහිප දෙනෙකුගේ උපන් දිනයත්, විපතට පත් දිනයත් සැමරීම සිදුකරනු ලබයි. ඒ අය අතරින් ජේ.ආර්. ජයවර්ධන මහතා සුවිශේෂී පුද්ගලයෙකි. එබැවින් ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ඡන්ම දිනය සැමරීම තවත් වසර සිය ගණනක් සිදුවනු ඇත යන්න මාගේ විශ්වාසයයි.

එසේම එක්සත් ජාතික පක්ෂය පැත්තෙන්, 56 වෙනි සම්මේලනය සමරන මොහොතේ, ජේ.ආර්. ගේ නායකත්වයේ පහස ලද, බොහෝ දේශපාලන හැලහැප්පීම් තුළ මනා පරිචයක් ඇති රනිල් වික්‍රමසිංහ වැන්නකු රටේත් පක්ෂයේත් දේශපාලන අනාගතය නැවත පිරික්සා බලන මොහොතක් ලෙස හඳුනා ගත යුතුව තිබේ.

වැටුණු පක්ෂය ජේ.ආර් ජයවර්ධනයන්ගේ තීක්ෂණ ඥානය සමඟ යළි හැත්තෑ හතේ දී පණ ගසා ආ පරිද්දෙන්ම, රනිල් වික්‍රමසිංහ ද අවශ්‍ය ප්‍රතිසංස්කරණ සමඟ පක්ෂය, රටේ අවශ්‍යතාව වෙනුවෙන් ප්‍රතිසංවිධානය කරනු ඇත. වර්තමානයේ සමස්ත රටේ පුරවැසියන්ගේ අපේක්ෂාව වන්නේ, ජේ. ආර් ජයවර්ධන සිදු කළාක් මෙන් ප්‍රතිසංස්කරණවාදී ආණ්ඩු ක්‍රමයක් මේ රට තුළ ස්ථාපිත කිරීමයි. රටේ ආර්ථික පරිහානිය සුමට කරගත හැකි වන්නේ, 1946 එක්සත් ජාතික පක්ෂය බිහිවන මොහොතේ ඇතිකරගත් සංහිඳියාත්මක පොදු දේශපාලන ව්‍යාපාරයකින් බව ජනතාව තේරුම් ගෙන සිටීම ඊට හේතුවයි.

ජේ. ආර්. ජයවර්ධන සිදුකළ සංවර්ධන ව්‍යාපෘතීන්, කොළයක් පිරෙන තරමට ලැයිස්තු ගතකළ හැකිය. ඒ බොහෝ දෙනා ජේ. ආර්. ගැන හඳුනා ගන්නා විදිහය. ජේ.ආර්. ගේ තීක්ෂණ ඥානය වරෙක වර නැඟෙන්නේ, ඔහුගේ සටකපටකම් ලෙසය. වාමවාදීන්ට ජේ.ආර්. අඳුකොළය. එහෙත් මේ ලියමන හකුළුවන්නට පෙර දෙයක් සඳහන් කළ යුතුය.

ඔහු හැදූ ව්‍යවස්ථාව වෙනස් කිරීමට පැමිණි කිසිවෙකුටත් නොහැකි විය. ඔහුගේ බුද්ධියට, ඊට එහා උදාහරණ අවශ්‍ය නොවේ. සිය මාමා නතර කළ තැණින් බෑණාට රට ඉදිරියට ගෙන යන්නට හැකිවේවාය යන්න ජනතා පැතුමය.

ලක්දිව ජයවර්ධනය කළ ජේ.ආර්. ජයවර්ධන

හිටපු අමාත්‍ය
වජිර අබේවර්ධන
සභාපති – එක්සත් ජාතික පක්ෂය

advertistmentadvertistment
advertistmentadvertistment