පීටර්ගෙන් ණයට ගෙන පෝල්ට දීම නොහොත් රටේ සැබෑ ආර්ථික අර්බුදය

154

ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට අපි අද මුහුණ දෙමින් සිටිමු. මෙම අර්බුදයට බල පෑ වූ මූලික හේතූන් විවිධ පුද්ගලයින් විසින් විවිධ ආකාරයෙන් අර්ථ නිරූපනය කරමින් සිටිති. සමහරු ඔවුන්ගේ දේශපාලනික විශ්වාසයන්වලට අනුව අර්ථ නිරූපනය කරන අතර තවත් සමහරු ඉතා ජනප්‍රියවාදී න්‍යායක් වන විවෘත ආර්ථිකයට බැණ වැදීමේ න්‍යාය අනුගමනය කරමින් මෙම අර්බුදයට හේතු අර්ථ නිරූපනය කරමින් සිටිති. අපි එකඟ විය යුතු එක් කරුණක් වන්නේ මෙම අර්බුදයෙන් ගැලවීම සඳහා තිබෙන ඒකායන ක්‍රමය වන්නේ මෙයට බලපෑ වූ මූල සාධක මනා ලෙස විශ්ලේෂණය කිරීම පමණි. එහෙම නොවුණහොත් අප ඉදිරිපත් කරනු ලබන කුමන හෝ ආකාරයක විසඳුමක් වුවද තාවකාලික විසඳුමක් වනු ඇත.

පීටර් මහතාගෙන් ණයට අරගෙන පෝල් මහතාට ගෙවීම වැනි විසඳුම ස්ථීරසාර විසඳුම් නොවනු ඇත. යම් කිසි විසඳුමක් ස්ථීරසාර විසඳුමක් නොවන්නේ නම් එම විසඳුම සඳාකාලික නොවෙනු ඇත.

අපගේ පළමු වැරැද්ද වූයේ නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තිය යටතේ ආරාධනා කළ සියලුම කර්මාන්ත ආනයනය කරන ලද අමුද්‍රව්‍ය මත රඳා පැවතුනා පමණක් නොව ආනයනය කරන ලද තාක්ෂණික ඥානය මත ද ඒවා රඳා පැවතුනි. අපගේ තාක්ෂණික ඥානය සහ දේශීය අමුද්‍රව්‍ය මත පවත්වා ගත හැකිව තිබූ කර්මාන්ත සියල්ල අප විසින් අත් හරින ලදි. එහි ප්‍රතිඵලය වූයේ එකී කර්මාන්තවලින් උපයන ලද විදේශ විනිමය 80% ක් පමණ අමුද්‍රව්‍ය සහ තාක්ෂණික ඥානය ආනයනය කිරීම සඳහා විදේශ රටවලට ඇදී ගිය අතර අපගේ ප්‍රතිලාභය වූයේ පුහුණුව ලත් ශ්‍රමිකයන් අතලොස්සක් සහ යම් ප්‍රමාණයක රැකියා නියුක්තියක් අත් කර ගැනීම පමණි. මෙම ආයෝජකයෝ ඔවුන්ට හැකි උපරිමයෙන් අපව සූරාකෑමෙන් පසුව එකී කර්මාන්ත ශාලා වඩාත් හොඳ බදු සහන සහ ආකර්ෂණීය ශ්‍රම බලකායන් පවතින රටවලට රැගෙන ගියහ. එබැවින් අපට කර්මාන්තශාලා අහිමි වූවා පමණක් නොව අපගේ පුහුණු වූ ශ්‍රමිකයන්ද මේ නිසා අහිමි විය. තවද එම ආයෝජකයෝ අපගේ පුහුණු ශ්‍රමික බලකායද ඉහළ වැටුප් පිරිනමමින් විදේශ ගත ඔවුන්ගේ නව විදේශ සේවා ස්ථාන සඳහා අද්දවා ගන්නා ලදි.

එබවින් 1977 දී ආරම්භ කරන ලද කාර්මීකරණය රටේ තිරසාර සංවර්ධනය සඳහා කිසිවක් ලබා දී නැත. මෙමගින් පෙන්නුම් කරන්නේ අපගේ සංවර්ධන ඉලක්ක සහ ආයෝජන වර්ග තෝරා ගැනීම පිළිබඳව පැහැදිලි විෂමතාවයන් පවතින බවය.

එනම් ක්ෂණික ධනය ඉපයීම සහ අපනයන කිරීම පිළිබඳව සීමාව ඉක්මවා අවධාරණය යොමු කර තිබීමයි. සාර්ථකත්වය ලබා ගත් රටවල් දෙස බලන විට එම රටවල් සාර්ථකතවය ලබාගෙන ඇත්තේ ඔවුන්ටම විශේෂ වු නිෂ්පාදනයන් අපනයනය කිරීම මගිනි. එය ඉතා සරල නිෂ්පාදනයක් විය හැක. එහෙත් ඒ සඳහා ඔවුන්ට ඔවුන්ගේම අමුද්‍රව්‍ය තාක්ෂණික ඥානය සහ පර්යේෂණ හැකියාවන් තිබුණි. එබවින් එකී නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳ පොළට සුදුසු වන පරිදි ප්‍රවර්ධනය කිරීමේ හැකියාව තිබුණි. නිදසුනක් ලෙස ජපන් මෝටර් රථ කර්මාන්ත ඇති කරනු ලැබුවේ අපනයනය සඳහා නොව දේශීය වෙළෙඳපොළ සඳහාය. ඉන්දියාවේ ටාටා කර්මාන්තය ද එසේම විය. ඔවුන් එම කර්මාන්තවල නිෂ්පාදනයේ ගුණාත්මය වර්ධනය කරමින් ඒවා ඉහළ මට්ටමකට වර්ධනය කරන බැවින් සෙසු අයට ද මෙම භාණ්ඩ ඒවායේ ඇති ඉහළ ගුණාත්මක භාවය විශ්වාසනීයත්වය සහ සාධාරණ මිල නිසා එම භාණ්ඩ අවශ්‍ය විය. ජපානයේ බොන්සායි කර්මාන්තය ද අද ලෝක ප්‍රචලිත කර්මාන්තයකි, සිංගප්පූරුවේ උඩවැඩියා මල් කර්මාන්තයද එසේමය.

එම නිසා රටේ අවශ්‍යතාවයන්ට අනුකූල වන පරිදි තිරසාර සංවර්ධනයක් සඳහා නිවැරදි ආයෝජනයන් තෝරා ගැනීමටත් රාජ්‍ය යාන්ත්‍රණය මගින් ඒ සඳහා අවශ්‍ය සහායක සේවාවන් ලබා දීමත් වැදගත් වේ. අපට තවදුරටත් ආයෝජකයන් අවශ්‍ය වන්නේ නම් සහ සත්‍ය වශයෙන්ම සහ අවංකවම මෙම ප්‍රශ්නයෙන් අප ගොඩ ඒමට උත්සාහ කරන්නේ නම් අප විසින් මෙතෙක් කරන ලද ක්‍රියාකාරකම් පිළිබඳව පශ්චාත් පරීක්ෂණයක් සිදු කළ යුතු අතර එමගින් අපි කුමන ක්ෂේත්‍රවල මනා ලෙස ක්‍රියා කර ඇද්දැයි සොයා ගත හැකි වනු ඇත. එය අනිවාර්යයෙන්ම අප සම්පූර්ණ කළ යුතු පූර්ව අවශ්‍යතාවයකි. එහෙත් මේ පිළිබඳව අප සම්පූර්ණයෙන්ම නොසලකා හැරීමෙන් අපගේ අසාර්ථක භාවයට මග පාදා ඇත.

ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය (BOI) යටතේ අප විසින් කළ යුතුව තිබුණේ අපගේම අමුද්‍රව්‍ය භාවිතා කරමින් ආරම්භ කළ හැකි කර්මාන්ත ශාලා හඳුනා ගැනීමත් ඒවා අපනයන සඳහා සුදුසු තත්ත්වයට ඉහළ දැමීම සඳහා ආයෝජකයන්ට අරාධනා කිරීමය. එහෙත් අප විසින් කරනු ලැබුවේ අපගේ පිරිවැය අඩු ශ්‍රම බලකාය භාවිත කරමින් ඔවුන්ට අවශ්‍ය නිෂ්පාදනයන් කිරීම සඳහා ආයෝජකයන්ට ආරාධනා කිරීමය. මෙමගින් අපව ඔවුන්ගේ වෙළෙඳ පොළ මත සහ මිලදී ගැනීමේ කොන්දේසි මත යැපෙන තත්ත්වයට පත්කරන ලදි. මින් ඉතා සරලව අදහස් වන්නේ අපගේ ආර්ථිකය සහ එහි වර්ධනය තෙවන පාර්ශ්වයන්ගේ කොන්දේසි මත ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ට බාරදීමය.

තවද අපගේ රටට අවශ්‍ය වන කර්මාන්ත හඳුනා ගැනීමට විශේෂඥ කණ්ඩායමක් පත් කළ යුතුව තිබුණි. අප කෘෂිකාර්මික රටකි. කිසි විටෙක අපේ කිරි නිෂ්පාදන කර්මාන්ත වෙත අවධානය යොමු කර තිබේද?. ජපානයේ නිෂ්පාදිත ලෝකයේම ප්‍රචලිත ක්‍රීම් චීස් (Cream Chees) නිෂ්පාදනය කරනු ලබන්නේ මීහරකුන්ගේ කිරිවලිනි. ජපානයට අයත් එම කර්මාන්තය පිහිටුවා ඇත්තේ ඉන්දුනීසියාවේ බාලී නගරයේය. 100% දේශීය අමුද්‍රව්‍ය භාවිතා කර අපනයන වෙළෙඳ පොළ සඳහා එම නිෂ්පාදන අපනයනය කළ හැකි බැවිනි.

බි්‍රතාන්‍ය යටත් විජිත පාලකයෝ මෙය මනා ලෙස තේරුම් ගත්හ. එබැවින් ඔවුන් තේ, පොල් සහ රබර් කර්මාන්ත වෙත අවධානය යොමු කළහ. ඒ සඳහා ඔවුන් ඉතා කාර්යක්ෂම සහ ලාභදායී ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය කළහ. ඔවුන් තේ සහ කපාපු පොල් ඉතා හොඳ තරගකාරී මිලකට ලෝක වෙළෙඳ පොළට සැපයූහ. ඒ සඳහා අපට සුවිශේෂී තාක්ෂණික ඥානයද ක්‍රමයෙන් වර්ධනය වී තිබුණි. අපගේ අනිසි කළමනාකරණය නිසා මේ පිළිබඳව වෙළඳපොළෙහි අපට හිමිවූ බහුතර පංගුව ද අපෙන් ගිලිහී ගිය අතර නිදහස් වෙළෙඳ ආර්ථික ප්‍රතිපත්තිය යටතේ මෙම ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා ආයෝජකයන්ට අප විසින් කිසි විටක ආරාධනා කර නොමැත.

අපගේ දෙවන වරද වන්නේ ආයෝජකයන් සඳහා සහායක සේවාවන් ලබා දීමය.

මේ සඳහා අප විසින් විශේෂ ආයතන පිහිටුවා ඇති අතර ආයෝජන අයදුම් පත්‍රය ඉදිරිපත් කළ මොහොතේ සිට එම ආයතන විසින් ඒ ගැන විමසා බැලිය යුතුය. ආයෝජක ප්‍රවර්ධන මණ්ඩලය (BOI) එවැනි එක් ආයතනයකි. ඔවුන් අපගේ ජාතියේ සුභසිද්ධිය සඳහා ක්‍රියා කරමින් සිටින්නේද අපේ රටට ගැලපෙන ප්‍රතිපත්ති නිර්මාණය කර තිබේද නැතහොත් ඔවුන් ඇනවුම් භාර ගන්නන්ගේ (Order Taker) තත්ත්වයට පමණක් පත් වී ඇත්ද?. ආයතන පමණක් නිර්මාණය කර ඔවුන්ට ප්‍රතිපත්ති සම්පාදනයේ බලය සූක්ෂම විපරීම් කිරීමේ බලය සහ ප්‍රධාන සංවර්ධන ඉලක්ක මත ස්ක්‍රීය ප්‍රතිඵල පෙන්වීමේ ක්‍රමවේදයන් නොමැතිව එකී ආයතනවලින් පලක් නැත. ඔවුන් සේවයේ යොදවා ඇත්තේ ඇනවුම් භාර ගැනීමට පමණක් නම් සහ ඇනවුම් දෙනු ලබන අයට අදාළ විෂය පිළිබඳව දැනුමක් නොමැති නම් එහි ප්‍රතිඵලයද නිෂේධනාත්මක වනවා පමණක් නොව එම ආයතන ද රජයට බරක් වනු ඇත. අපගේ දැන් පවතින ක්‍රමයේ දෘෂ්‍ය සත්‍ය මෙයද?. මෙවැනි රාජ්‍ය ආයතන බොහෝමයක් දිස්ත්‍රික් මට්ටමේ සිට මධ්‍යම ආණ්ඩුව දක්වා මෙහි ඇත.

එබැවින් අපගේ දෙවන භයානක දුර්වලතාවය වන්නේ අකාර්යයක්ෂම සහ දූෂිත රාජ්‍ය සේවයයි. එය සම්පූර්ණයෙන්ම ප්‍රතිඉංජිනේරු කරණයට ලක් කර ආයෝජකයාට මිත්‍රශීලී ආයතන බවට පත්කළ යුතුය. මේ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ තීරු බදු දෙපාර්තමේන්තුවට ඉහළ පූර්වතාවයක් දිය යුතු ආයතන වන්නේ එම ආයතන යනු ඕනෑම ආයෝජකයකු පළමුව පියනගන ආයතන බැවිනි. කිසිදු රජයක් මේ සම්බන්ධයෙන් අවංක සහ පැහැදිලි පසුවිපරමක් නොකරන්නේ මන්ද යන්න පිළිබඳව අපි පුදුමයට පත්වීමු.

අපගේ සැලකිල්ල යොමුකළ යුතු තෙවන ක්ෂේත්‍රය වන්නේ අපනයනය සඳහා ලැබෙන විදේශ විනිමය පිළිබඳවයි. විදේශ ආයෝජකයන්ට ආරාධනා කිරීමෙන් හෝ ව්‍යාපාර කිරීමෙන් පමණක් පලක් නොවනු ඇත. එම අපනයනවලින් ලැබෙන විදේශ විනිමය මෙරටට නොලැබෙන්නේ නම් ආයෝජකයන්ට නොයෙක් බදු සහන ලබාදී, රජයේ ඉඩම් සහන පදනම යටතේ ලබාදීමේ කිසිදු ප්‍රතිපලයක් රටට නොමැත. අපගේ මූලික පරමාර්ථය විය යුත්තේ රටට අවශ්‍ය විදේශ විනිමය උත්පාදනය කර ගැනීමය. අපනයනයන්ගෙන්

ලැබෙන විදේශ විනිමය රටට ගෙන ඒම පාලනය කිරීම සඳහා විදේශ විනිමය පාලන නීතීන් ද අපට තිබේ. ඒවා නියාමනය කරන ආයතන මෙන්ම එය අධීක්ෂණය කිරීම සඳහා ඉහළ වැටුප් ලබන රාජ්‍ය සේවකයන්ද ඇත. ඔවුන්ගේ රාජකාරිය අවංකව ඉටුකර තිබේද?. ඔවුන් කිසිදු ප්‍රගමනශීලී දායකත්වයක් ලබා නොදුන් බවක් හෝ, ඒ පිළිබඳව සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බවක් පෙනේ.

මෙය මනා ලෙස ප්‍රත්‍යක්ෂවන්නේ ඇමරිකාවේ වොෂින්ටන් නුවර පිහිටුවා ඇති ගෝලීය මූල්‍ය පූර්ණත්වය (Global Finance Interprity) නමැති විද්වත් සංසදය විසින් ප්‍රකාශයට පත් කර ඇති වාර්තාව දෙස බලන විටය. එම ආයතනයේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ ලෝකයේ විවිධ රටවල් සිදුකරන අපනයන වෙළෙඳාම පිළිබඳ විමර්ශනය කිරීමයි.

ආචාර්ය – හරිස් සල්පිටිකෝරාළ

advertistmentadvertistment
advertistmentadvertistment