තවත් දෙදෙනෙක් දුවගොස් ජීවිත බේරා ගනිති
වවුනියාව, මහකච්චකොඩිය, ඒරුපොතාන ප්‍රදේශයේදී වන අලියකුගේ ප්‍රහාරයකට ලක්ව අසරණ ගැමියකු පෙරේදා (25 දා) මහ දවල් මියගොස් තිබේ. ඔහු පළාතේ කුළී වැඩක් කරමින් සිටියදී වන අලියා ඔහු පසුපස එලවා පහර දී පාගා දැමීම නිසා ගැමියා සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ වවුනියාවේ සැලලිහිණිගම 11 වෙනි පටුමගේ පදිංචි ගලපිටරාලලාගේ ටිකිරිබණ්ඩා නමැති 53 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම මාර්ගයේ වන අලින් නිතර ගැවසෙන අතර ගැමියාට පහර දීමට විනාඩි කිහිපයකට පෙර එම වන අලියා ත්‍රිරෝද රථයක් පසුපස එළවා තිබේ.
ඔවුන් අනූනවයෙන් දිවි ගලවා ගෙන නිවෙස වෙත යන අතරවාරයේ ඒ මාර්ගයේම එක්
ස්ථානයක කුලියට කැළය එළි කරමින් සිටි ගැමියාට වන අලියා සිටින බව පවසා ඔවුන් ගොස් තිබේ. ගැමියා ඒ ගැන විපරම් කරමින් සිටියදී ඔහු පසුපස එළවා පැමිණි වන අලියා ඔහුට පහර දී පාගා මරාදමා ඇත. ඔහු සමග සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු වන අලියා එලවද්දී දුව ගොස් දිවි ගලවා ගෙන තිබේ. මියගිය ගැමියාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා වවුනියාව මහ රෝහල වෙත රැගෙන ගොස් තිබේ. මාමඩුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
දිනසේන රතුගමගේ