රටේ තියෙන්නෙ නාමික ප්‍රජාතන්ත්‍රවාදයක් මැති සබේ හුඟක් අය දූෂිතයෝ රකිනව – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දෙබරවැවදී කියයි

32

අපේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ප්‍රධාන කුළුණු 3 වන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පැවතියත් නාමිකව පමණක් ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන බවත් අද වන විට පාර්ලිමේන්තුවේ බහුතරයක් දූෂිතයෝ රකිමින් හොරකම, අල්ලස හා වංචාව ආරක්ෂා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේබව කියා සිටියේ හම්බන්තොට තිස්සමහාරාම දෙබරවැව ජනාධිපති විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සක්වල සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසල වෙනුවෙන් මීට පෙරද බටහිර තූර්ය වාදක කණ්ඩායමේ ඇඳුම් කට්ටල සහ බස් රථයක් ලබා දීමද සිදු විය. මීට අමතරව පාසලේ නර්තන කණ්ඩායම වෙනුවෙන් ඇඳුම් කට්ටල ලබාගැනීමට රුපියල් ලක්ෂයක පරිත්‍යාගයක්ද සිදු කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය.

මීට මාස කිහිපයකට පෙර බාල බෙහෙත් ජාවාරම්කාර ක්‍රියාදාමය ගැන සත්‍ය තොරතුරු අනාවරණය වූ පසු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට විරුද්ධව සමගි ජන බලවේගය විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ ඔහුව ආරක්ෂා කරන්න ආණ්ඩුවේ 113ක් අත ඉස්සුවා. රට පාලනය කරන ජනාධිපති ඔහුව රකින්න කටයුතු කළා. මේ වන විට සමගි ජන බලවේගය ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ වැදගත්කම පෙනී යනවා. අධිකරණය විසින් පෝලිමට මේ හොරු අල්ලා ඔවුන්ට විරුද්ධව නඩු ක්‍රියාත්මක කරමින් මේ දූෂිත වංචනික ක්‍රියාවලට වගකිවයුතු අය දැන් හෙළිදරව් වුවත් පාර්ලිමේන්තුවේ මේ හොරුන්ව ආරක්ෂා කිරීමට බහුතරයක් පෙරට ආවා.

අපේ රටේ ඩිජිටල් විප්ලවයක් සිදු කරන බවට පාලකයෝ කෑ මොර දුන්නත් අප රටේ පරිගණක හා තොරතුරු තාක්ෂණය ඉගැන්වීම සිදු කරන්නේ 6 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා බවත් 1 සිට 5 වැනි ශ්‍රේණිය දක්වා සිසුන්ට කිසිදු ඉගැන්වීමක් සිදු නොකරත් සමගි ජන බලවේග රජයක් තුළ තොරතුරු තාක්ෂණය 1 සිට 13 දක්වා ඉංග්‍රීසි භාෂාවෙන් අනිවාර්ය විෂයක් ලෙස ඉගැන්වීම සිදු කරනවා. පෝසත් පවුල්, ප්‍රභූ පවුල්, ඇතිහැකි පවුල්, දේශපාලනඥයන්ගේ ළමයි යන්නේ පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වලටය. මෙම ජාත්‍යන්තර පාසල් හා රාජ්‍ය පාසල් අතර විශාල පරතරයක් තිබේ. එය නැති කළ යුතුයි. කවුරු මොන විප්ලව සිදු කළත් මේ දැවැන්ත අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ නතර කළ නොහැකියි. එය නතර කළ හැකි එකම පාර්ශ්වය මහජනතාව පමණයි.

රටම ක්‍රමයේ වෙනසක් අපේක්ෂා කරන බැවින් එම ක්‍රමයේ වෙනස සමගි ජන බලවේගය මේ වන විටත් පෙන්වා ඇත. බලයක් නොමැතිව රටටම වැඩක් කළේ සමගි ජන බලවේගයයි. නවීන තාක්ෂණය සම්බන්ධයෙන් දරුවන් සතු දැනුම අඩු වී ඇත්තේ දූදරුවන්ගේ වරදින් නොව පාලකයන් පත් කරන වැඩිහිටියන්ගේ වරදිනි. මෙතෙක් කල් වැරදි දේට ජනප්‍රිය දේට පුද්ගලික වරප්‍රසාද ලැබෙන දේට වරම ලබා දුන්නා. එය දැන්වත් වෙනස් විය යුතුයි. සමගි ජන බලවේගය බලයට පත් වූ විගස උසස් මට්ටමට රටේ අධ්‍යාපන පද්ධතිය නිර්මාණය කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment