සිලෙට් පිටියේ සටනේ සිල්වර්වුඩ්ගේ වැඩි විශ්වාසය ශ්‍රී ලංකාව දෙසට පළමු තරගය අද

296

බංග්ලාදේශය සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය බංග්ලාදේශයේ සිලෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (04 වැනිදා) ආරම්භ වේ.

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ දෙරට අතර පැවැත්වෙන 14 වැනි තරගය මෙම තරගය වන අතර ඉන් පෙර පැවැති තරග 13 තුළදී ශ්‍රී ලංකාව තරග 9ක් සහ බංග්ලාදේශය තරග 4 ක් ජයග්‍රහණය කර ඇත.

ඒ අනුව වැඩි ජයග්‍රහණ සම්භාවිතාවක් තිබෙන කණ්ඩායම ලෙස අද තරගයට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පළමු වරට මැද පෙළ පිතිකරු චරිත් අසලංකට පැවරී ඇත.

පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමේ නිත්‍ය නායක වනිදු හසරංග තරග තහනමකට ලක් වීම හේතුවෙන් අද තරගයේ සහ ලබන 06 වැනිදා පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා සුක්කානම චරිත් විසින් දරනු ලබයි.

අද තරගය පිළිබඳව ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ප්‍රකාශ කළේ තරගයේ ජයග්‍රහණය පිළිබඳ වැඩි බලාපොරොත්තු තම කණ්ඩායම වෙත තිබෙන බවයි.

“කණ්ඩායම් දෙක අතර හොඳ තරගාවලියක් තිබෙයි. කණ්ඩායම් දෙකම දක්ෂයි. ඒත් ජයග්‍රහණයට වැඩි බරක් තියෙන්නේ අපේ කණ්ඩායමට. විශේෂයෙන් මෑත කාලයේ අපි පන්දුවාර විස්සයි විස්ස තරග හොඳට ක්‍රීඩා කරා. අපේ සැලසුම් එම තරගවලදී සාර්ථක වුණා. ක්‍රීඩකයන් ලෙස සහ කණ්ඩායමක් ලෙස එම දක්ෂතා මේ තරගාවලියේදී තවත් වර්ධනය කරගන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් ලෝක කුසලාන තරගාවලියක් අභියස අපි ශ්‍රී ලංකා බ්‍රෑන්ඩ් එකේ ක්‍රිකට් එක ගහන්න ඕන. ඒ දෙය සාර්ථක වුණොත් අපිට තරගාවලිය ජය ගැනීමට පුළුවන්.”

ඒ අනුව අදින් ආරම්භ වන පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සහ කණ්ඩායමේ ක්‍රීඩකයන් පිළිබඳව ශ්‍රී ලංකා පුහුණුකරු ධනාත්මක ස්ථාවරයක පසුවන බව පෙනෙයි.

එහෙත් ඔහුට පසුබට වීමටද කාරණා නැත්තේ නොවේ. එනම් පළමු තරග දෙකට නායක වනිදු හසරංග නොමැතිවීම සහ පැතුම් නිශ්ශංකගේ අඩුවයි.

“වනිදු තුන් ඉරියව්වෙන්ම දක්ෂ ක්‍රීඩකයෙක්. අවාසනාවකට පළමු තරග දෙකේදී ඒ තුන් ඉරියව් දක්ෂතා කණ්ඩායමට ලැබෙන්නේ නැහැ. ඒ වගේම පැතුම් ගැනත් කිව යුතුයි. පසුගිය මාස හත අටක කාලය තුළ පන්දුවාර විස්සයි විස්ස තරග රටාවේ සහ එක් දින තරග පිටියේ පැතුම් ඉතා හොඳින් ලකුණු රැස් කළා. ඔහු කණ්ඩායමට වටින ක්‍රීඩකයෙක්. ඔහු නැති වීමත් අපට ලොකු අඩුවක්.”

වනිදු හසරංග ඇෆ්ගනිස්තානයට එරෙහිව පසුගියදා පැවති පන්දු වාර 20-20 තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා ය. පළමු එක්දින තරගයේ දී ජයග්‍රාහී ලකුණු 67 ක් ඇතුළුව ලකුණු 102 ක් ඔහු ලබා ගත්තේය. තරග තුනේ ඕවර 12 කදී ලකුණු 74 කට කඩුලු 4ක් බිඳ හෙළුවේය.

හසරංග ආවරණය කරගැනීම සඳහා අසලංකට තේරීම් කමිටුව ලබා දී තිබෙන්නේ වසර දෙකකට පෙර අවසන් වරට විස්සයි 20 තරගයක් ක්‍රීඩා කළ ජෙෆ්රි වැන්ඩර්සේය. වැන්ඩර්සේ තුන් ඉරියව්වෙන් දස්කම් පාන ක්‍රීඩකයෙක් නොවන අතර දඟ පන්දු යවන්නෝ ලෙස අකිල ධනංජය සහ මහීෂ් තීක්ෂණ කණ්ඩායමේ සිටිති.

පැතුම් නිශ්ශංක එක්දින තරගයක ද්විත්ව ශතකයක් වාර්තා කළ ශ්‍රී ලංකාවේ පළමු සහ එකම පිතිකරු වීම තවම සති තුනක් තුනක්වත් ගත වී නොමැත. ඒ නිසා ඔහු මේ කණ්ඩායමට නැතිවීමද මිල කළ නොහැකි පාඩුවකි.

එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී රිද්මය මෙන්ම කණ්ඩායමේ සංයුතිය පිළිබඳව පුහුණුකරු සිල්වර්වුඩ් අපේක්ෂා සහගතව පසුවේ.

“අපිට හොඳ කණ්ඩායමක් සිටිනවා. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සහ තරුණ ක්‍රීඩකයන්ගෙන් කණ්ඩායම සමන්විතයි. සියලු ක්‍රීඩකයන් හොඳින් දක්ෂතා අතර සිටීම ප්‍රතිවාදින්ට එතරම් හොඳ දෙයක් වෙන එකක් නැහැ. අතීතයේ මේ කණ්ඩායම් දෙක මුණ ගැසුණු අවස්ථාවලදී මොනවා සිදුවෙලා තිබුණත් මේ තරගාවලිය ඉතා තරගකාරී එකක් වනු ඇති.”

පන්දු වාර විස්සයි විස්ස තරගාවලියේ සියලු තරග සිලෙට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා සංචිතය: වනිදු හසරංග (අවසන් තරගයේ නායකයා), චරිත් අසලංක (පළමු තරග දෙකේ නායකයා), කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහේෂ් තීක්ෂණ, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, ඩිල්ෂාන් මධුශංක, නුවන් තුෂාර, මතීෂ පතිරණ, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ

බංග්ලාදේශ සංචිතය: නජිමුල් හොසෙයින් ෂැන්ටො (නායක), ලින්ටන් දාස්, අනාමුල් හක් බිජොයි, මොහොමඩ් නයිම් ෂෙයික්, ටවිඩ් හ්‍රිඩොයි, සෞම්‍යා සර්කාර්, මහමුද් උල්ලාහ්, ටජිමුල් ඉස්ලාම්, රිෂාඩ් හොසයින්, ටස්කින් අහමඩ්, රිෂාඩ් හොසයින්, ටක්සින් අහමඩ්, ටැන්සිම් හසන් සකිබ්, ඇලිස් අල් ඉස්ලාම්
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment