කෙන්ට් කණ්ඩායමට  ශ්‍රී ලංකාවෙන් සාර්ථක පිළිතුරක්

305

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ කෙන්ට් කණ්ඩායම අතර ක්‍රියාත්මක සිව්දින ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ ඊයේ දිනයේ (09 වැනිදා) දිවා භෝජනය සඳහා තරගය නතර කරනවිටදී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 658ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. ඒ අනුව කෙන්ට් පළමු ඉනිමට වඩා ලකුණු 63ක පළමු ඉනිමේ වාසියක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

 සිව්වැනි සහ අවසන් දිනට ඊයේ තරගය ආරම්භ කරන විටදී සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 573ක් ලබා ප්‍රබල ස්ථානයක පසුවිය. ඒ අනුව කෙන්ට් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 22ක පිටුපසින් පසු වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේදී තවත් ලකුණු 85ක් එම ඉනිමට එකතු කළේ කඩුලු 9ක් දැවී මුලු ලකුණු ගණන 658ක් ලෙස ලකුණු පුවරුවේ ප්‍රදර්ශනය කරමිනි.

 ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් සුපිරි පිතිහරඹයක් දියත් කළ නිශාන් මදුසංක ලකුණු 269ක් රැස් කිරීමට සමත් විය. හයේ පහර 2ක් එම ඉනිමට ඇතුළත් වෙද්දී හතරේ පහර 37ක් ඊට ඇතුළත් විය.

 නිශාන් මදුසංක වාර්තා කළ ලකුණු 269 ශ්‍රී ලංකා පිතිකරුවෙකු කෙන්ට් කණ්ඩායමට එරෙහිව ඉනිමකදී වාර්තා කළ වැඩම ලකුණු සංඛ්‍යාව බවට වාර්තා පොත් අතරට එක් විය. එය අරවින්ද ද සිල්වාගේ වාර්තාවක් බිඳ දැමීමක් වන අතර අරවින්ද ද සිල්වා මීට වසර 27කට පෙර එංගලන්ත කෙන්ට් කණ්ඩායමට එරෙහිව ලකුණු 255ක් රැස් කර තිබූ අතර එය ශ්‍රී ලංකා පිතිකරුවෙකු කෙන්ට් කණ්ඩායමට එරෙහිව ඉනිමකදී වාර්තා කළ වැඩිම ලකණු ලෙස සටහන් වී තිබිණි.

 එක් ලකුණකින් ශතකය අහිමි වූ නවනිදු ප්‍රනාන්දු පන්දු 108කදී ලකුණු 99කට දැවී ගියේය. එම ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 14ක් ඇතුළත් කිරීමට ද ඔහු වගබලා ගත්තේය.

 ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවන විටදී නොදැවී පන්දුවට පහර දෙමින් සිටි සන්තුෂ් ගුණතිලක ලකුණු 58ක් ලබා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment