කේලමක් දුරදිග ගොස් අනුරාධපුර රෝහලේ ඊයේත් ගුටිකෙළියක්

3517

කේලමක් මුල්කර ගෙන ඇති වූ වචන හුවමාරුවක් දුරදිග යෑමෙන් පසු ඊයේ (20දා) ඇති වූ ගුටිබැට හුවමාරුවකින් තුවාල ලැබූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ සාත්තු සේවකයකු හා සේවිකාවක රෝහලේ වාට්ටු දෙකක ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ රෝහල් ගතව ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවයේ නිරත හිදෝගම ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි සුළු සේවකයකු සහ මිහින්තලේ ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි සුළු සේවිකාවකි. මෙම ගැටුමෙන් තුවාල ලැබූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ 7 වන වාට්ටුවේ සේවයේ නියුතු මෙම සේවකයා සහ සේවිකාව අනුරාධපුර ශික්ෂණ රෝහලේ 11 සහ 40 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

තුවාල ලැබූ සේවිකාව සාත්තු සේවකයාට එරෙහිව වෙනත් කාන්තාවකට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමසීමට යෑමේදී ඇති වූ වචන හුවමාරුවක් ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වීමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

පෙරේදා (19 දා) දිනයේද අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන් දෙදෙනකු අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවක් හේතුවෙන් තුවාල ලැබූ එම වෛද්‍යවරුන් දෙදෙනා අනුරාධපුර රෝහලේ වාට්ටු දෙකක නතර වී ප්‍රතිකාර ලබා ගත් සිද්ධියක් ද වාර්තා විය.

මිහින්තලේ රංග චතූ


advertistmentadvertistment