බුද්ධි නිලධාරියාට පහරදී – ෆෝන් එක පැහැර ගන්න හදලා
පොලිස් නිලධාරීන්ගේ දූෂණ ක්‍රියාවන් මෙන්ම ඔවුන්ගේ හැසිරීම් පිළිබඳ තොරතුරු ඉහළ නිලධාරීන්ට ලබාදෙන බව කියමින් බුද්ධි අංශයේ නිලධාරියකුට පහරදී ඔහුගේ ජංගම දුරකථනය පැහැර ගැනීමට උත්සාහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර, කොටවිල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසකට එරෙහිව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
පහර කෑමට ලක්වූ බුද්ධි අංශ සැරයන්වරයා මේ පිළිබඳව මාතර සහකාර පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කර මාතර රෝහලට ඇතුළත් වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මාතර දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.
කොටවිල පොලිසියේ තිබූ පිස්තෝලයක් සොරා ගැනීමේ සිද්ධියක් පිළිබඳව එම පොලිසිය තොරතුරු වසන් කර සිටියදී එම තොරතුරු ඉහළ නිලධාරීන්ට ලබාදී ඇත්තේ මෙම බුද්ධි නිලධාරියා විසිනි.
පිස්තෝලය සොරා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීම පිළිබඳව කොටවිල පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.
සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවකු පිළිබඳ තොරතුරු ලබාගැනීමට බුද්ධි අංශ නිලධාරියාගේ ජංගම දුරකථනය පොලිස් ස්ථානාධිපතිවරයා සහ තවත් නිලධාරීන් පිරිසක් බලෙන් ලබා ගැනීමට යෑමේදී එම නිලධාරියා ඊට එරෙහිවී ඇත.
මෙම පහරදීම සිදුවී ඇත්තේ එම අවස්ථාවේදීය. ඉකුත් 22 වැනිදා සිදුවූ මෙම පහරදීමෙන් පසු බුද්ධි අංශ නිලධාරියා වෛi උපදෙස් මත නිවාඩු ලබාගෙන පිටව ගොස් තිබේ.
පහරදීමේ සිද්ධියට පෙර අවස්ථා කීපයකදීම කොටවිල පොලිසියේ උසස් නිලධාරීන් කීපදෙනකුම බුද්ධි අංශ නිලධාරියාට බැණ තර්ජනය කර ඇති බවද එම නිලධාරියා කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.
හේමන්ත රන්දුණු, ලලිත් පද්මසිරි