කොටහේනේ තරුණයන් 11ක් අතුරුදන් වී වසර 15යි

93

තවම යුක්තිය ඉටුවෙලා නැහැ
නීතිඥ නුවන් බෝපගේ අභියාචනාධිකරණයට දන්වයි

කප්පම් ලබාගැනීමේ අරමුණින් සුදු වෑන් භාවිත කරමින් කොටහේන හා කොළඹ තදාසන්න ප්‍රදේශවලදී තරුණයන් ඇතුළු 11දෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කොට මේ වනවිට වසර 15කට ආසන්න කාලයක් ගතවී ඇතත් ඝාතනයට ලක්වූ අයගේ පවුල්වල සාමාජිකයන්ට මෙතෙක් යුක්තිය ඉටුවී නැතැයි අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා ඊයේ (13දා) අභියාචනාධිකරණයට පැවසීය.

අධිකරණයේ එකම අභිප්‍රාය යුක්තිය ඉල්ලා අධිකරණය හමුවට පැමිණෙන සෑම පාර්ශ්වයකට යුක්තිය ඉටුකිරීම බවත් පෙත්සම්කාර වසන්ත කරන්නාගොඩ වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා එම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැති ද යන කරුණු ඉදිරි දිනයේ දී දැනුම් දුන් පසුව තම අධිකරණය සුදුසු නියෝගයක් නිකුත් කරන්නේ යැයි අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් මහතා නීතිඥ නුවන් බෝපගේ මහතා දැක්වූ අදහස් දැක්වීමට පිළිතුරු ලෙස ප්‍රකාශ කළේය. 2008 වසරේ දී සිදුවූ එම පැහැර ගැනීම් හා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා 667ක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු 14දෙනකුට එරෙහිව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා 667ක් යටතේ 2019.11.11 වැනිදා නඩු පවරා තිබිණි. එම අධිචෝදනා පත්‍රයේ 14 වන විත්තිකරු ලෙස හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා නම් කර තිබූ අතර එයට එරෙහිව ඔහු විසින් ගොනු කර තිබූ රිට් ආඥා පෙත්සම ඊයේ (13දා) අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් මහතා ඉදිරියේ දී කැඳවිණි. සිය සේවාදායකයා විසින් ගොනු කර ඇති එම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යනවා ද නැති ද යන කරුණ ඔහු සමග සාකච්ඡා කොට ඉදිරි දෙසතිය ඇතුළත අධිකරණයට දැනුම් දෙන බව වසන්ත කරන්නාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට පැවසීය. එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා එම පෙත්සම ලබන මස 3 වැනිදා යළි කැඳවීමට ද නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment