කොවිඩ් මෘත දේහ ආදාහනයට තීන්දුව ගත් කමිටුව ගැන සොයන්න කොමිසමක් ජනපතිවරණයට පෙර දෙන්න

42

එක්සත් සාම සන්ධානයේ කලීලුර් රහ්මන් ජනපතිගෙන් ඉල්ලයි
මුස්ලිම් ප්‍රජාවට යුක්තිය ඉටු කරන්නට

කොවිඩ් මුස්ලිම් මෘත දේහ ආදාහනයට තීන්දුව ගත් කමිටුව සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපති කොමිෂන් සභාවක් ජනාධිපතිවරණයට පෙර පත්කර ආදාහන තීන්දුවෙන් පලුදුවූ මෙරට මුස්ලිම් ප්‍රජාවගේ සිත්වලට යුක්තිය ඉටුකර දෙන ලෙස ජනාධිපති කාර්යසාධක බළකායේ හිටපු සාමාජික එක්සත් සාම සන්ධානයේ භාණ්ඩාගාරික කොළඹ හිටපු නාගරික මන්ත්‍රි කලීලුර් රහ්මාන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

මේ පිළිබඳව කරුණු දක්වමින් ඔහු ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ මෙසේ ද සඳහන් කර ඇත.

ආදාහනය, භූමදානය හා ශරීර අවයව කොටස් දන්දීම පිළිබඳව ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇති නව නීති රෙගුලාසි සම්බන්ධව වූ කාරණයේදී, කොවිඩ් මෘත දේහ ආදාහනය කිරීම සම්බන්ධව පසුගියදා පාර්ලිමේන්තුවේදී විවාදාත්මක සංවාදයක් ඇති වූ අතර එහිදී ජනාධිපතිතුමා දැක්වූ අදහස් සම්බන්ධව පැහැදිලි කිරීමක් මුස්ලිම් ප්‍රජාව අපේක්ෂා කරයි.

එනම් මෘත ආදාහනය සම්බන්ධව වූ සිදුවීම මුස්ලිම් ප්‍රජාව අමතක කර ආදාහනය සම්බන්ධව තීන්දු ගත් කමිටුවේ සිටි උදවියට මුස්ලිම් ප්‍රජාව සමාව දියයුතු යන්න ද එම ප්‍රකාශවලින් ජනාධිපතිතුමා අපේක්ෂා කරනුයේ ද?

එසේ ජනාධිපතිතුමා අපේක්ෂා කරනවා නම් ඒ සම්බන්ධව මුස්ලිම් ප්‍රජාව දැඩි කම්පනයට හා කනගාටුවට පත් වන්නේය. ඒ මන්දයත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යනු, බෙදුම්වාදී අන්තවාදී අදහස්වලින් තොරවූ මානුෂීයවාදියකු ලෙසයි මෙරට මානුෂීයවාදී ප්‍රජාව පිළිගනුයේ. ඒ බවක් පාර්ලිමේන්තු මන්ත්‍රි මරික්කාර් මහතා ද මෙම විවාදයට මැදිහත් වෙමින් සිදු කළ කතාවේදී ප්‍රකාශ කළේය.

එම නිසා ජනාධිපතිතුමා වහාම කොවිඩ් මෘත දේහ ආදාහනය සම්බන්ධව තීන්දුව ගත් කමිටුව සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර පත් කර ආදාහනය නිසා පලුදු මෙරට මුස්ලිම් ප්‍රජාවගේ සිත්සතන් සනසවන්න එම අසාධාරණ සිදුවීම සිදුකළ කමිටුවට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

මෘත දේහ ආදාහනය කරන්න එක්තරා කමිටුවක් තීන්දු කරද්දී තවත් කමිටුවක් භූමදානය කළ හැකි යැයි තීන්දු ගැනීම පිටුපස ඇති අදෘශ්‍යමාන හස්තයක් හෝ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූවාදැයි සොයා බැලීම රටට යහපතකි.

මන්ද භූමදානය වෙනුවෙන් විමල් හා ගම්මන්පිල මන්ත්‍රිවරුන් පෙනීසිටින විට එම ආණ්ඩුවේම තවත් කොටසක් විරුද්ධ වූ බවත් අලි සබි්‍ර හා විමල් යන මන්ත්‍රිවරුන් දොපළ පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ද බැහැර කළ නොහැකි බැවින්, එමෙන් ම අලි සබි්‍ර මන්ත්‍රිවරයා ඇතුළු තවත් මන්ත්‍රිවරුන් කිහිප දෙනකුම මහාචාර්ය මෙත්තිකා මහත්මිය වෙත නැඟූ චෝදනාව ද මෙහිදී බැහැර කළ නොහැකිය. එනම් අමාත්‍ය ජීවන් තොන්ඩමාන් මහතා සිය අමාත්‍යාංශය හරහා කරන ලද පරීක්ෂණ වාර්තාවේදී ද සඳහන් වූවේ ජලයෙන් කොරෝනා වෛරසය බෝවීමක් නොවන බවය.

මේ නිසා මුස්ලිම් ප්‍රජාවගේ ආගමික, සිවිල් හා දේශපාලන නායකයන් ආදාහනය වූවන්ගේ පවුලේ උදවියගේ කඩ වූ මූලික මිනිස් අයිතීන් වෙනුවෙන් අධිකරණයේ පිහිට පතා ආදාහන තීන්දු ගත් කමිටුවට විරුද්ධව පෙනී සිටිය යුතුය. එනම් කාදිනල් හිමිපාණන් පාස්කු ප්‍රහාරයේදී මියගිය අයවලුන් වෙනුවෙන් වර්තමානයේදී අධිකරණයේ ගොනුකර ඇති නෛතික ක්‍රියාදාමය මෙන් බව ද අවධාරණය කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment