කොළඹ – ගාල්ල ඇතුළු පුංචි ආණ්ඩු රැසක බලය තාමත් වැට උඩ

38

ආසන 48ක් දිනූ මාලිමාව පරාජිත සජබට කොළඹ බලය දෙන්නේ නෑ- ඇමැති විජිත හේරත්
ආයතන 120ක බලය අල්ලන්න විපක්ෂයේ සාකච්ඡා සාර්ථකයි – සජබ මහ ලේකම් මද්දුමබණ්ඩාර

කොළඹ, ගාල්ල මහ නගර සභා ඇතුළු පළාත් පාලන රැසක බලය පිහිටුවීම පිළිබඳව ඊයේ (12දා) වනවිටත් නිශ්චිත එකඟතාවකට එළැඹ නොතිබිණි. ගාල්ල මහ නගර සභාවේ බලය පිහිටුවීමට ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් අනිකුත් පක්ෂවල සභිකයින් දිනා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භකොට තිබිණි. ජාතික ජනබලවේගය මන්ත්‍රී ධුර 17ක් දිනාගනිමින් ගාල්ල මහ නගර සභාවේ බහුතර මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමිකරගනු ලැබුව ද සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් මන්ත්‍රී ධුර 19ක් හිමිකර ගැනීම නිසා නගර සභාවේ බලය පිහිටුවීමේදී බල පොරයක් නිර්මාණය වී ඇත.

මෙවැනි පසුබිමක් තුළ ගාල්ල මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය හා එජාපය විසින් විවිධ උපාය උපක්‍රම අනුගමනය කරමින් සිටින බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. තනතුරු බෙදාගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර මත ගැටුම් නිර්මාණය වී ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙවර පළාත් පාලන මැතිවරණයේදී ගාල්ල මහ නගර සභාවේ කොට්ඨාස 21න් කොට්ඨාස 17කම ජය ජාතික ජන බලවේගයට හිමිවිය.

එජාපය කොට්ඨාස දෙකක් ද සමගි ජන බලවේගය කොට්ඨාස දෙකක් ද ජයගෙන ඇත. ගාල්ල මහ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නලින් හේවගේ මහතාගෙන් අප කළ විමසුමකදී මෙසේ කීවේය.

ගාල්ල මහ නගර සභාවේ බහුතර මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් දිනාගෙන තියෙන්නේ ජාතික ජන බලවේගය. ජනතා කැමැත්ත තියෙන්නේ අපිට. ඒ නිසා ජාතික ජන බලවේගය ගාල්ල මහ නගර සභාවේ බලය අනිවාර්යයෙන්ම ස්ථාපිත කරනවා. ගාල්ල මහ නගර සභාව පමණක් නෙවෙයි ගාල්ල දිස්ත්‍රික්කයේ අනිකුත් පළාත් පාලන ආයතනවල ද ජනතා කැමැත්ත ඉහළින් ම ලබාදීලා තියෙන්නේ ජාතික ජන බලවේගයට. තනි පක්ෂයක් වශයෙන් වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ලැබී තියෙන්නේ අපිට. ඒ සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට අපි කටයුතු කරනවා. විපක්ෂයේ අනිකුත් දේශපාලන පක්ෂ අතර තනතුරු බෙදාගැනීමට විශාල කුලල්කා ගැනීමක් තියෙනවා. ඇතැම් විපක්ෂයේ මන්ත්‍රීවරු අපේ වැඩපිළිවෙළ අනුමත කරමින් අපිට සහයෝගය ලබාදෙන බවට කැමැත්ත ප්‍රකාශ කොට තියෙනවා. ඒ නිසා පළාත් පාලන ආයතන පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇතිවන්නේ නෑ.

ගාල්ල ආසනයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලලාල් බණ්ඩාරිගොඩ මහතා මෙසේ කීවේය.

ගාල්ල මහ නගර සභාවේ බලය විපක්ෂයට පිහිටුවන්න කියලා තමයි ජනතා කැමැත්ත ලබාදීලා තියෙන්නේ. ජනතා මතය අනුව අපි කටයුතු කරනවා. නගර සභාවේ බලය තහවුරු කරගැනීමට මේ වනවිට එජාපය ඇතුළු අනිකුත් පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කොට තිබෙන බව ද බන්දුලලාල් බණ්ඩාරිගොඩ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක හිටපු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා පවසන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගන්නා තීන්දුව අනුව කටයුතු කරන බවයි.

ගාල්ල මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක මෙවර පළාත් පාලන මැතිවරණයේදී මාගාල්ල කොට්ඨාසයේ ජය තහවුරු කරගත් ජිලිත් නිශාන්ත (එජාප) මහතා මෙසේ කීවේය.

ගාල්ල මහ නගර සභාවේ විපක්ෂයට මන්ත්‍රි ධුර 19ක් තියෙනවා. ජාතික ජන බලවේගයට තියෙන්නේ මන්ත්‍රි ධුර 17යි. විපක්ෂයේ සියලුම කණ්ඩායම් එකතුවෙලා අපි නගර සභාවේ බලය පිහිටුවනවා. පක්ෂ නායක මට්ටමින් සාකච්ඡා ආරම්භ කොට තියෙනවා. ඒ සාකච්ඡා සාර්ථක වී තියෙනවා. එජාපය හා සමගි ජන බලවේගය නගර සභාවේ ප්‍රධාන තනතුරු බෙදාගෙන අනිකුත් විපක්ෂයේ පක්ෂවල සහයෝගය ඇතිව අනිවාර්යයෙන්ම නගර සභාවේ බලය අපි ලබාගන්නවා යැයි ද ජිලිත් නිශාන්ත මහතා සඳහන් කළේය.

මේ අතර කොළඹ, ගාල්ල ඇතුළු පළාත් පාලන ආයතන 120කට වැඩි ප්‍රමාණයක බලය පිහිටුවීමට ිවිපක්ෂයේ සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සමග සිදුකළ සාකච්ඡා අවසන් අදියරේ පවතින බවත් මෙතෙක් කළ එම සාකච්ඡා සාර්ථක බවත් සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ‘දිවයින’ට ඊයේ (12දා) කළ විමසීමකදී පැවසීය.

මේ වනවිට සිදුකළ සාකච්ඡා අනුව විපක්ෂයේ සියලුම පක්ෂ මෙම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සහාය දෙන බව ප්‍රකාශ කර තිබෙන බවත් තවත් ස්වාධීන කණ්ඩායම් කිහිපයක් සිදුකරන සාකච්ඡා අවසන් මට්ටමේ පවතින බවත් ඒ මහතා කීය.

කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය පක්ෂයට බොහෝ පිරිස් මේ වනවිට එකඟතා පළකර ඇති බවත් පිහිටුවන මහ නගර සභාවේ නගරාධිපති, උප නගරාධිපති ඇතුළු ධුරයන් සඳහා කවුරුන් පත්කර ගන්නවා ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බවත් මද්දුමබණ්ඩාර මහතා තවදුරටත් කීය.

මේ අතර විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා කියා සිටියේ කොළඹ මහ නගර සභාවේ බලය මාලිමාවේ පාලනයකින් පිහිටවනු ලබන බවයි.

සමගි ජන බලවේගය නගරාධිපති අපේක්ෂකයා ඔහුගේ කොට්ඨාසයෙන් පරාජය වී ඇති බවත් ඔහු පරාජය වී ඇත්තේ මාලිමාවේ වයස අවුරුදු 19ක් වූ තරුණ කාන්තාවකට බවත් ඇමැතිවරයා කීය.

කොළඹ නගරයේ ජනතාව වැඩි පිරිසක් නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ඡන්දය දුන්නේ මාලිමාවට බවත් එම නිසා ආසන 48ක් ඇති මාලිමාවේ බලය පරාජිත සජබයට ලබාදිය නොහැකි බවත් හෙතෙම කීය. මේ වනවිට මාලිමාවේ බලය පිහිටුවීම සඳහා සහාය ලබාදීමට තේරී සිටින මන්ත්‍රී පිරිසක් එකඟ වී ඇති බවත් ඔවුන් සමග මාලිමාව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

කොළඹ මහ නගර සභාව සඳහා ජාතික ජන බලවේගය මන්ත්‍රී ධුර 48ක් ලබාගනිද්දී විපක්ෂය මන්ත්‍රි ධුර 67ක් ලබාගෙන ඇත. ඉන් සමගි ජන බලවේගය මන්ත්‍රි ධුර 29ක් හා එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රි ධුර 13ක් ලබාගෙන තිබුණි. කොළඹ මහ නගර සභාවේ විපක්ෂයේ ඉතිරි මන්ත්‍රි ධුර 25 අනෙකුත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් හිමිකරගෙන තිබුණි.

ගාල්ල මහ නගර සභාවේ ජාතික ජන බලවේගය මන්ත්‍රි ධුර 17ක් ලබාගනිද්දී සමගි ජන බලවේගය ඇතුළු අනෙකුත් පක්ෂ මන්ත්‍රි ධුර 19ක් හිමිකර ගෙන තිබුණි.

චමින්ද සිල්වා


advertistmentadvertistment