කෝටි 12 1/2 අල්ලස් නඩුව යළිත් වෙනත් මහාධිකරණයකට

211

නඩුව විභාග කරන්න අධිකරණය තීරණය කිරීම බාහිර පාර්ශ්වයකට දෙන්න බෑ – විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ

බලයලත් අධිකාරියක් විසින් පවරනු ලබන නඩුවක් විභාග කළ යුතු අධිකරණය තෝරා ගැනීමේ අභිමතය කිසිදු පාර්ශ්වයකට ලබාදීම යුක්තිය පසිඳලීමේ අධිකරණ ක්‍රියාදාමයට බාධාවක් වන්නා සේම එයට ඉඩදීම වැරදි පූර්වාදර්ශයක් විය හැකි වන්නේ යැයි කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (24) විවෘත අධිකරණය හමුවේදී ප්‍රකාශ කළේය.

වෙනත් මහාධිකරණයක් හමුවේදී ආරම්භ කළ නඩුවක් එම නඩු විභාගය අතරතුරදී අධිකරණය සම්බන්ධයෙන් විත්තිය ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශයක් මත පදනම්ව තම අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බැවින් එකී නඩුවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යෑමට සූදානම් නොමැති බව පෙන්වා දෙමින් එම නඩුව නැවත කොළඹ ප්‍රධාන මහාධිකරණය වෙත යොමු කිරීමට නියෝග කරමින් විනිසුරුවරයා එලෙස ප්‍රකාශ කළේය.

ලංගමට අවශ්‍ය වාහන අමතර කොටස් ආනයනය කරන සමාගමක් විසින් ආනයනය කරන ලද බහාලුම් කිහිපයක් නිදහස් කිරීම සඳහා රුපියල් කෝටි 12 1/2ක අල්ලසක් ලබාගැනීම ඇතුළු අධිචෝදනා 14ක් යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් එවකට රාජකාරියේ නිරතව සිටි රේගු නිලධාරීන් සිවුදෙනකුට එරෙහිව පවරා තිබූ නඩුව ඊයේ (24) මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේදී කැඳවිණි. එම නඩුව නැවත කොළඹ ප්‍රධාන මහාධිකරණය වෙත යොමු කිරීමෙන් අනතුරුව ප්‍රධාන මහාධිකරණයේ නියමයෙන් අංක තුන මහාධිකරණය හමුවේදී කැඳවිණි.

නඩුව ලබන අගෝස්තු 2 වැනිදා කැඳවීමට මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා නියෝග කළේය. රජයේ අධිනීතිඥ මලික් අසීස් රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් (නීති) එස්. චන්ද්‍රවංශ මල්ලවආරච්චි, ප්‍රියංගනි ජයලත් යන මහත්ම මහත්මීන් සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙයවිය. නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, අෂාන් නානායක්කාර, දුමේෂ් කාරියවසම්, චාන් ගොඩකුඹුර ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න, ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් යන මහත්වරු විත්තිය නියෝජනය කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment