ගංගාරාම පුදබිමෙන් විහිදෙන – කොළොම්පුර සංස්කෘතික මංගල්‍යය නවම් මහා පෙරහැර

104

නව වසරක් උදාවී නවම්මහ එළඹීමත් සමග කොලොම්තොට කලඑළි කරන බොදු මහා මංගල්‍ය ලෙසින් බුද්ධාලම්භන ප්‍රීතිය ජන හදවත් තුළ ජනිත කරන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථ නවම් මහ පෙරහැර මෙවරද පෙබරවාරි මස 22 23 යන දෙදින තුළ ඉතා උත්කර්ෂවත් ආකාරයට පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සූදානම්ව පවතිනු දැකගත හැකිය. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

හැත්තෑව දශකයේ මුල් භාගයේ ඇරඹි මෙම පෙරහැර එවකට ආරම්භ කර ඇත්තේ ඇසළ මාසයේය. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය අනුස්මරණය කරනු වස් මෙම බුද්ධ වන්දනාව ආරම්භ වී ඇති බැව් ඒ හා බැඳි අඩ සියවසකට අධික ඉතිහාසය ආවර්ජනය කිරීමේදී මොනවට පැහැදිලි වේ.

එවකට හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ අධිපතිත්වය දැරූ දෙවුන්දර වාජිස්වර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙය ආරම්භ කර ඇත. අනතුරුව වසර කිහිපයක් ඉක්මයෑමේදී විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙන්ම නාහිමියන් ගිලන්වීම හේතුකොට ගෙන ඉතා කෙටි කලක් නැවතී ඇත. පසුව වර්ෂ 1979 දී නවම් මස නැවත පෙරහැර ආරම්භ වී කොළඹ නවම්මහ පෙරහැර ලෙසින් ප්‍රකට විය. තුණුරුවන් කෙරෙහි පවත්වනු ලබන මහා පූජෝත්සවයක් ලෙස අද දක්වාම එතුළින් දේශයේ අගනගරය කලඑළි කරනු දැක ගත හැක.

පෙරහැර නැවත ආරම්භ කිරීම සඳහා කොළඹ නව කෝරලේ ප්‍රධාන සංඝ නායක පූජ්‍යපාද ආචාර්ය ගලබොඩ ශ්‍රී ඥාණිස්සර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පෙරදැරිව එවකට මැද කොළඹ පළමු මහජන මන්ත්‍රී වූ අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිඳුන්ගේ මෙන්ම ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති තුමාගේ ද ක්‍රියාකාරී දායකත්වය ලැබී ඇති අතර එය නවම් මහ පෙරහැර අඛණ්ඩව පවත්වාගෙන යෑමට මෙන්ම එහි අභිවෘද්ධියට ද මහත් පිටිවහලක් වී ඇති බැව් ද කරුණු ගෙනහැර පායි. එතැන් පටන් දේශයේ ආගමික සිද්ධස්ථාන නඟාසිටුවීම මෙන්ම පරාර්ථකාමී මෙහෙවරයන් උදෙසා තම ධන පරිත්‍යාග කළ සත් ගුණවත් සතර පේරුවේ දායක කාරකාදීන්, ප්‍රභූවරුන්, ප්‍රකට ව්‍යාපාරික භවතුන් මෙන්ම පරිත්‍යාගශීලීන්ගෙන් සැදුම්ලත් ශක්තිමත් දායක සභාවක් ගංගාරාම විහාරස්ථානයේ ස්ථාපිත වීම තුළ නවම්මහ පෙරහැරේ ශ්‍රී විභූතිය වසරින් වසර දේශයට උරුම වී ඇත. මෙහිදී විශේෂයෙන් විජේවර්ධන පරපුරේ දම්පතීන් කළ මෙහෙවර අමතක කළ නොහැක. එතුමන්ලා මෙම පුදබිමේ චිරස්ථිතිය උදෙසා මූලිකත්වය ගෙන ක්‍රියා කළ අතර අද ද විජය පුවත්පත් ආයතනයේ නිර්මාතෘ රංජිත් විජේවර්ධන මැතිඳුන් විහාරස්ථානයේ ප්‍රධාන දායකත්වය දැරීම එයට හොඳම නිදසුනකි.

වසර 30ක් තිස්සේ පැවති රුදුරු ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හමුවේ පවා නවම්මහ පෙරහැර මනා ලෙස පවත්වා ජන හදවත් තුළ බුද්ධාලම්භන ප්‍රීතිය මතු කරන්නට සමත් විය. ලංකාවේ පැවැත්වෙන පෙරහැරවල් අතර වැඩිම අලි ඇතුන් සංඛ්‍යාවක් මෙන්ම නානාවිධි නර්ථන කණ්ඩායම් විශාල ප්‍රමාණයක් සහභාගි වන පෙරහැරක් ලෙස නවම් මහ පෙරහැර විරුදාවලිය ලබා ඇත. එය දෙවැනි වන්නේ සෙංකඩගල පුරවර පැවැත්වෙන දළදා පෙරහැරට පමණි.

කොළඹ ජීවත්වන බෞද්ධ ජනතාව පමණක් නොව අන්‍යාගමිකයන්ගේ ද පූජෝපහාරයට බඳුන් වූ මෙම පෙරහැර සඳහා ඔවුන් දක්වන සහයෝගය ප්‍රශංසනීය වේ. දින ගණනක් පුරාවට පැවැත්වෙන මහා පිංකම් මාලාවේ අවසන් දෙදින වන නවම්පුර පසළොස්වක පොහෝ දින සහ ඊට පෙර දින පෙරහැර පැවැත්වේ. එය නැරඹීම සඳහා කොළොම්පුරයට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ඒකරාශී වන පිරිස අති මහත්ය. මේ අතර විදේශිකයන් ද වේ. පැය කීපයක් පුරාවට වීදි සංචාරය කෙරෙන නවම් මහ පෙරහැර සිත්සේ නරඹන්නට අවශ්‍ය සියලු පහසුකම් උපරිම අයුරින් සලසා තිබීම ද පැසසුම් සහගතය.

පෙරහැරක චිත්තාකර්ෂණීය බව ගෙන දෙන කසකරුවාගේ පටන් හස්ති පාලකයින්, නර්ථන ශිල්පීන් දක්වා සෑම සියලු දෙනාටම ඔවුන්ගේ සිත් සතුටුවන ආකාරයට මිල මුදල් පරිත්‍යාග කිරීම මෙන්ම ඔවුන්ගේ පවුල් ජීවිත යථාවත්ව පවත්වාගෙන යෑම උදෙසා රන් භාණ්ඩ, ගෘහ උපකරණ පවා පරිත්‍යාග කිරීම ද නිබඳව සිදුවී ඇති බැව් දැනගත හැකිය. එය පෙරහැර කර්මාන්තයේ යෙදෙන්නන්ට තවදුරටත් අපගේ නර්ථන සම්ප්‍රදායන් සුරක්‍ෂිතව පවත්වාගෙන යෑමට ලැබෙන මහත් වාරුවකි. මේ නිසා ඔවුන් ගංගාරාමයේ පෙරහැරට සම්බන්ධවීමට දක්වන්නේ ඉමහත් අභිරුචියකි.

වසරින් වසර හෙළ නර්ථන සම්ප්‍රදායන්ගේ නව නිර්මාණවලට අවස්ථාව සලසා දෙමින් නරඹන්නන්ගේ සිත් ප්‍රබෝධමත් වන ආකාරයට මෙය පැවැත්වීම ද විශේෂත්වයකි. මෙවරද ඊට අදාළ සියලු කටයුතු නාහිමියන්ගේ පූර්ණ මග පෙන්වීම් ප්‍රකාරව, එහි මහා බර කරට ගත් විහාරාධිකාරී පූජ්‍යපාද ආචාර්ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේගේ අවවාද අනුසාසනා මත විහාරස්ථානයේ වැඩ සිටින මහා සඟරුවන, දායක සභාව, ශ්‍රී ජිනරතන අධ්‍යාපනික ආයතනයේ සිසු දරුවන්ගේ කැපවීම ද, සෙසු සංවිධානවල සහය ද පෙරහැරේ සාර්ථකත්වයට මහත්සේ හේතුපාදක වී ඇත.

දකින නරඹන සෑම සියලු දෙනාගේම හදවත් තුළ තුණුරුවන් කෙරෙහි මහත් ශ්‍රද්ධාවක් ඇතිවන ආකාරයට ත්‍රිවිධ චෛත්‍යයන්ගෙන් සමලංකෘතව නිර්මාණය වී ඇති ගංගාරාම පුදබිම දෛනිකව වන්දනා මාන කිරීමට පැමිණෙන දේශීය මෙන්ම විදේශික පිරිස් ද බොහෝය.

මෙම විහාරස්ථානය විවිධ තත්ත්වයන් විද්‍යාමාන වන සිද්ධස්ථානයකි. ඒ අනුව වරෙක මෙය, කෞතුකාගාරයකි, තවත් වරෙක කලාභවනකි. ඒ වාගේම අති විශාල දරු පිරිසකට විවිධ භාෂා ශාස්ත්‍රයන් උගන්වන අධ්‍යාපනික ආයතනයකි. තවත් වරෙක කාර්මික විද්‍යාලයකි, ඒ වාගේම කතරගම ආදී ප්‍රදේශවල නේවාසිකාගාර පවත්වාගෙන යමින් සැදැහැවතුනට පිහිටවන තැනකි. තවද වෙහෙර විහාරස්ථානවලට ඇවැසි බොහෝ දේ පරිත්‍යාග කරන පුන්‍ය ආයතනයකි. මේවා උදාහරණ කිහිපයක් පමණි. මෙකී නොකී අතිමහත් ආගමික, ශාසනික හා සමාජීය මෙහෙවරක් සිදුකරන අතරේ වසරකට වරක් පවත්වනු ලබන නවම්මහ පෙරහැර ලාංකීය ජන සමාජයේ බෞද්ධාගමික උත්කෘෂ්ඨභාවය මොනවට මතු කෙරෙන පුණ්‍යයෝත්සවයක් ලෙස ජනහදවතට සමීප වී ඇත.

සාම විනිසුරු – කැලණියේ නන්දලාල් සමරවීර
සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment