ගජමුතු 6ක් විකිණීමට ගිය සැකකරුවෙක් දෙබරවැවදී ගුවන් බුද්ධියට යටවෙලා

80

වීරවිල ගුවන් හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව තිස්සමහාරාම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් තිස්සමහාරාම දෙබැරවැව ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදුකළ වැටලීමක දී ගජමුතු 06ක් සමග පුද්ගලයකු පෙරේදා (22 දා) රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දෙල්ගහවත්ත, බෝවල උතුර, වලස්මුල්ල ලිපිනයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු ගජමුතු හයක් රුපියල් කෝටි දෙක හමාරක මුදලකට අලෙවි කිරීම සඳහා වලස්මුල්ලේ සිට තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයට පැමිණ ගැණුම්කරු පැමිණෙන තෙක් හෝටලයක නවාතැන් ගෙන සිට තිබේ. එහිදී සැකකරු සම්බන්ධයෙන් වීරවිල ගුවන් හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද පුද්ගලික තොරතුරකට අනුව තිස්සමහාරාම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එක්ව රාත්‍රි 8.40ට පමණ අදාළ හෝටලය වටලා එහි නවාතැන්ගෙන සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූයේ සැකකරු මෙම ගජමුතු රුපියල් කෝටි දෙක හමාරක මුදලකට අලෙවි කිරීම සඳහා රැගෙන ආ බවයි. අත්අඩංගුවට ගත් ගජමුතු හය හා සැකකරු තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මත්තල – දිලීප් එන් ජයසේකර


advertistmentadvertistment