ග්‍රාම නිලධාරි අඛණ්ඩ වර්ජනයක්

36

ලබන 24 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන සාකච්ඡාවලදී සිය ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් ග්‍රාම නිලධාරීන් 14,000ම අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවැසීය.

දැනට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවද හෙතෙම කීය.

ග්‍රාම නිලධාරීන්ට සේවා ව්‍යවස්ථාවක් ලබාදීම, වර්තමානයට ගැළපෙන ආකාරයට දීමනා ඉහළ නැංවීම, ගැළපෙන වැටුප් තලයක පිහිටුවීම ඇතුළු ගැටලු කීපයකට විසඳුම් ඉල්ලා දැනට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බවද හෙතෙම කීය.

මේ වනවිට ග්‍රාම නිලධාරීන් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා රාජකාරියට වාර්තා කළද මියගිය පුද්ගලයකුගේ මරණයට අදාළ ලේඛන කටයුතු සිදුකර දෙන බවත් ග්‍රාම සේවා සහතික කිරීම් ඇතුළු අනෙකුත් කටයුතුවලින් වැළකී අකුරට වැඩ කිරීමේ ක්‍රියාවලියේ නිරත වන බවත් ඒ මහතා කියා සිටියේය.

එසේම සෙනසුරාදා, ඉරිදා හා රජයේ නිවාඩු දිනවල කිසිදු රාජකාරි කටයුත්තක් සිදුනොකරන බවද හෙතෙම කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment