වීසා නිකුත් කිරීමේදී ඇතිවූ ගැටලුවලට විරෝධය පළකරමින් කටුනායක ගුවන්තොටුපළේ කලහකාරී ලෙස හැසිරුණු සඳරුවන් කුමාරසිංහ නමැති නීතිඥවරයාගෙන් කටුනායක පොලිසිය ඊයේ (06දා) ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පැමිණෙන ලෙස කළ දැනුම්දීමකට අනුව කුමාරසිංහ මහතා ඊයේ පෙරවරුවේ කටුනායක පොලිසියේ පෙනී සිටියේය.
කටුනායක ගුවන්තොටුපළේ වීසා නිකුත් කිරීමේදී ඇතිවී තිබූ ගැටලුව සම්බන්ධයෙන් ඊට මුහුණදුන් සඳරුවන් කුමාරසිංහ මහතා දැඩි ලෙස විවේචනය කළ වීඩියෝ පටය සමාජ ජාලා වෙබ් අඩවිවල විශාල වශයෙන් ප්‍රචාරය විය.
මෙම ගැටලුව මහජනතාව අතරට ගොස් තිබුණේ එම වීඩියෝ පටය ඔස්සේය.
මේ අතර සඳරුවන් කුමාරසිංහ මහතා මෙම වීසා සිද්ධිය සම්බන්ධයෙන් කළ විවේචනය වීඩියෝගත කළ ආගමන විගමන නිලධාරීන් කීපදෙනකුගෙන් ද පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇත.
තම බිරිඳගේ පැමිණීමේ වීසා බලපත්‍රය අවලංගු කළ බවට චෝදනා කරමින් කුමාරසිංහ මහතා එය දැඩි ලෙස විවේචනය කරමින් කලහකාරී ලෙස හැසිරී තිබිණි.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ඉන්දීය සම්බන්ධයක් ඇති පෞද්ගලික ආයතනයකට ලබාදී ඇති බවත්, ඒ වෙනුවෙන් ගෙවන ගාස්තුව ඉහළ දමා ඇති බවත් කියන සිද්ධියක් නිසා රටේ උණුසුම් තත්ත්වයක් උද්ගත වී තිබිණි.
හේමන්ත රන්දුණු, ටී. කේ. ජී. කපිල