ගෝලීය මූල්‍ය ව්‍යුහයේ ප්‍රතිසංස්කරණයක් වර්තමානයේ මතුව තිබෙනවා

48

ජනාධිපති රනිල් වික්‍රමසිංහ “G77 සහ චීනය” කණ්ඩායමේ 3 වැනි දකුණු සමුළුව අමතමින් කියයි

ජනපති එක්සත් ජාතීන්ගේ මහලේකම් හමුවෙයි

මේ දිනවල උගන්ඩාවේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්ටෝනියෝ ගුට්රාස් හමුවූ අවස්ථාව. විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතාද මෙහි වෙයි.

ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටත් වඩා වර්තමානයේ මතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කර සිටියේ 21දා උගන්ඩාවේ කම්පාලා නුවරදී ආරම්භ කෙරුණු “G77 සහ චීනය” කණ්ඩායමේ 3 වැනි දකුණු සමුළුව (3rd South Summit of the Group of 77) China) අමතමිනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන සංවර්ධනය වෙමින් පවතින රටවල විශාලතම සන්ධානය ලෙස, ගෝලීය දකුණේ රටවලට සිය සාමූහික ආර්ථික අවශ්‍යතා ප්‍රකාශ කිරීමට, ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ගෝලීය දකුණේ රටවල් අතර අන්තර් සහයෝගීතාවය ඇතුළුව එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ පවතින ජාත්‍යන්තර ආර්ථික ගැටළු පිළිබඳව එක්ව සාකච්ඡා කිරීම වෙනුවෙන් ඉඩකඩ සලසා දීම G77 සහ චීනය සමුළුවේදී සිදු කෙරේ.

එහි සාමාජික රටවල් 134 අතර වෙළඳාම, ආයෝජන, තිරසාර සංවර්ධනය, දේශගුණික විපර්යාස, දරිද්‍රතාවය තුරන් කිරීම සහ ඩිජිටල් ආර්ථිකය ඇතුළු ක්ෂෙත්‍රයන්හි සහයෝගීතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ‘කිසිවෙකු අත් නොහරිමු‘ යන තේමාව යටතේ එහි 3 වැනි දකුණු සමුළුව කැඳවා තිබිණි. G77 සහ චීනය සමුළුවේ සභාපති ධූරය මෙතෙක් කියුබානු ජනරජය මගින් දැරූ අතර, මෙවර එය උගන්ඩා ජනරජය විසින් භාර ගනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමුළුව අමතා මෙසේද කියා සිටියේය.

අද අපි මෙහි හමුවන්නේ ලෝකය අභියෝග රැසකට මුහුණදී සිටින අවස්ථාවකයි. ගැටුම් උත්සන්න වීම, වසංගතයේ ප්‍රතිවිපාක, දේශගුණය ආශ්‍රිත ස්වාභාවික විපත් සහ ගෝලීය මූල්‍ය වෙළඳපොළ වෙනස්වීම් මෙන්ම තවත් බොහෝ හේතු නිසා මෙම තත්ත්වයන් නිරන්තරයෙන් වෙනස් වෙනවා. වර්ධනය වන මෙම තත්ත්වයන් G77 සාමාජික රටවල අවදානමට ලක්විය හැකි ආර්ථිකයන් කෙරෙහි අසමාන අන්දමින් මෙන්ම අහිතකර ලෙසද බලපානු ලබනවා.

එසේම ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටත් වඩා වර්තමානයේ මතුව තිබෙනවා. නූතන ජාත්‍යන්තර ණය විසඳුම් ආකෘතිය වඩාත් සුදුසු වන්නේ පැරිස් සමාජය සහ ලන්ඩන් සමාජය විසින් ගෝලීය ණය විසඳුම් ආධිපත්‍යය දැරූ ලෝකය සඳහායි. අද වන විට, ගෝලීය ණය මෙන්ම විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ණය, පැරිස් සමාජයේ සාමාජිකයින් නොවන ණය හිමියන් සහ ජාත්‍යන්තර බැඳුම්කර වෙළඳපොලවල් විසින් පාලනය කරනු ලබනවා. පවතින මූල්‍ය සම්පත් ණය සේවාවක් ලෙස ලබා ගන්නා විට, අත්‍යාවශ්‍ය පොදු සේවා සහ මානව සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය වියදම් වෙනුවෙන් මූල්‍ය පහසුකම් සපයා ගැනීමට අපට නොහැකි වන අතර, එය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම කෙරෙහි ද බලපානු ලබනවා.

පවතින පොදු රාමුව ඉක්මන් ණය විසඳුමක් ලබා දීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. මෙම රාමුව සහ යථාර්ථය අතර පවතින නොගැළපීම නිසා මගේ රටද ඇතුළුව අපගේ රටවල් විශාල සංඛ්‍යාවක මෑත කාලීන රාජ්‍ය ණය අර්බුද විසඳාගැනීම ප්‍රමාද වීමට හේතු වී තිබෙනවා.

ගෝලීය වෙළෙඳ ව්‍යුහයන් තුළ ඒකපාර්ශ්වීය පදනමක් මත වෙනස්වීම් සිදු විය නොහැකියි. නීති පිළිබඳ තීරණ ගත යුත්තේ බහුපාර්ශ්වික සංසදවල මිස අගනගර එකක හෝ දෙකකදී නොවෙයි. අප ගෝලීය වෙළඳාමේ සහ ආයෝජනයේ පහසු බව මෙන්ම උපරිම කාර්යක්ෂමතාවද සහතික කළ යුතුයි. G77 සංවිධානය මේ ක්‍රියාවලිය බි්‍රක්ස් සංවිධානයේ රටවල් සමග සම්බන්ධීකරණය කළ යුතුයි.

ගෝලීය මූල්‍ය ව්‍යුහයේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින අතරම, G77 සහ චීනය කණ්ඩායම අපේ සාමාජික රටවලට, බලශක්ති පරිවර්තනය, ඩිජිටල් පරිවර්තනය, හරිත ආර්ථිකය සහ නව ගෝලීය ආර්ථිකයක් වෙනුවෙන් පුහුණු ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා සූදානම් වීමේ උපාය මාර්ග සකස් කළ යුතු වෙනවා.


advertistmentadvertistment