ලංකාවේ නීතියක් තිබුණට අද ක්‍රියාත්මක නෑ – SIගේ වෙඩිපහරින් මියගිය රොෂාන්තගේ අවමඟුල් උත්සවය

272

දරු පවුලක් අද අනාථ වෙලා
ජීවිතය නැතිවීම මුදල් පෙන්වා අතපිස දාගන්න බෑ
ඉඩංගාපොළ විහාරාධිපති ඉහළ කෝට්ටේ ප්‍රියශාන්ත හිමි

ජනී ජනයාගෙන් පිරී ඉතිරී ගිය මළගමක් මීට පෙර වෑත්තෑකන්ද ගම්මානයේ අප දුටුවේ නැහැ. ඇයි මේ තරම් ජනගඟක් පිරී සිටින්නේ මේ ගම්මානයට නොව, ගම්මාන ගණනාවක වැසියන්ට පිහිට උපකාර කරන ආගම දහම වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කළ සැබෑ මිනිසෙකු ජීවිතයෙන් සමු ගැනීම නිසාය.

පසුගිය 18 දා නාරම්මල පොලිසියේ උප පොලිස් පොලිස්කාරයෙකුගේ වෙඩි පහරින් මියගිය 42 හැවිරිදි තිදරු පියෙක් වන කේ.ඒ.රොෂාන්ත කුමාරසිරි දක්ෂ වඩුකාර්මිකයාගේ අවසන් කටයුතු සිදු කළ පසුගිය 21 දා දේහය වෙනුවෙන් ආගමික කටයුතු කළ ඉඩංගාපොළ විහාරාධිපති ඉහළ කෝට්ටේ ප්‍රියශාන්ත හිමියෝ පැවසූහ.

උන්වහන්සේ තවදුරටත් අදහස් දක්වමින් මගේ විහාරස්ථානයේ දියුණුවට විශාල වැඩකොටසක් සිදු කළ උතුම් මිනිසකු වූ රොෂාන්ත මහතා පාපතරයෙකු විසින් ඝාතනය කළේ ඇයි? පොලිස් දෙපාර්තමේන්තුවට විශාල කැළලක් වුණා. එය මකා ගන්න බැහැ. මේ ඝාතකයා සිරගත වූවත් බුදු දහම අනුව දිට්ඨධම්මවේදනීයව විපාක දෙනවා දෙනවාමයි. නීතිය මොනකතා කිවුවත් පිළිගන්න බැහැ. ලංකාවේ නීතියක් තිබුණට ක්‍රියාත්මක නැහැ. අද දරු පවුලක් අනාත වුණා. මේ මිනිසාගේ වටිනාකම මුදලට චෙක්පතට සීමා කරන්න බැහැ. මුදල පෙන්වා අතපිසදාගන්නත් බැහැ යැයි උන්වහන්සේ පැවසූහ.

මියගිය අයගේ ඥාතියෙක් වූ ඒ.සමන්ත ඉඳුනිල් දුකේදී දුක්වන සැපේදී සතුටු වන අවංක ඥාති සහෝදරයෙක් වන රොෂාන්තගේ ඝාතනය අපට විඳදරා ගන්න බැහැ. හොඳවෙලාවට එළවලු වෙළෙඳ සැලක් ළඟ ඝාතනය සිදු කළේ. එසේ නොවුණා නම් කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට තිබුණා. එතැන හොඳ තරුණ පිරිසක් සිටියා. වීඩියෝවෙන් ඒක පේනවා. මේ වගේ අපරාධ කරන්න ඉඩ තියන්න එපා. පිස්සෝ පොලිසියට බඳවා ගන්නත් එපා යැයි කීය.

ඒ.එච්.ඉසුරු ලක්මාල් තරුණ මහතා අදහස් දක්වමින් අද අවසන් කටයුතු කරන දවසේ පොලිසියෙන්වත් අදාළ රජයේ ආයතනයකින්වත් මෙතැනට සහභාගී වුණේ නැහැ. ඒ වුණාට පාරේ පොලිසියෙන් පන්සියයකටත් අධික ප්‍රමාණයක් පැමිණිලා සිටිනවා. පොලු තුවක්කු රැගෙන. ඒ අය හිතුවේ අපි කලබල කරයි කියලා. අපට ඒ වගේ වැඩ කරන්න පුළුවන් වුවත් රොෂාන්ත අයියට අගෞරව කරන්න අපි කැමති නැහැ. රොෂාන්ත අයියා මිල කළ නොහැකි මනුස්සයෙක්, මුදලට වඩා දරුවන්ගේ අනාගතය ගැන සිතන්න ඕනේ. දරුවන්ගේ අනාගතේ ගොඩනඟා දෙන්න කියන ඉල්ලීම් අපි කරනවා. අද අපට වටිනා සම්පතක් අහිමි වුණා. මේ අයිය ළඟ දහදෙනකුට වඩා සේවය කළා. ඒ පවුල් පවා අද අනාත වුණා. හැම මොහොතෙම මා සමග කියන්නේ දරුවන් තිදෙනා ගැන නිවුන් දියණියන් දෙදෙනෙක් සිටින නිසා ඔවුන්ගේ ජීවිත ගොඩ නඟන්න විශාල උත්සාහයක් දරන පියෙක් එකම පිරිමි දරුවා පුංචි අවධියේ සිටින නිසා ඒ දරුවා ගැනත් විශාල උනන්දුවක් දක්වන පියෙක්. ඒ වගේම තම බිරිඳ ඇතුළු පුංචි කැදැල්ල සතුටින් සමගියෙන් ජීවත් වන ආදර්ශමත් පවුලක් වන අතර සුරාවෙන් සූදුවෙන් තොර යහපත් ජීවිතයක් ගත කරන රොෂාන්ත අයියට වෙඩි තිබ්බේ පෙර කළ කරුමයක් නිසාදෝ යැයි මට සිතෙනවා.

වෑත්තෑකන්ද අවමංගල සමිතියේ ලේඛම් යූ.නාලනී මහත්මිය අදහස් දක්වමින් මෙසේකී ය.

අපේ ගමේ සමිති සමාගම් වලට වස්තුවක් බඳු රොෂාන්ත මහතා පාපතරයකු විසින් මරා දැමුවේ මොන වරදකට ද. සමස්ත පොලිසිය පමණක් නොව මුළු රජයම මෙම ඝාතනයට වග කියන්න ඕනෑ. පොලිසියට බඳවා

ගන්නාවිට අවියක් නිවැරදිව භාවිත කරන්න පුහුණුවක් දෙන්න. හරි හමන් පුහුණුවක් නැති මේ වගේ රිළවුන්ට අවිදෙන්න එපා.

නිල ඇඳුමකුත් නැති පොලිස් යතුරුපැදියකුත් නොවන ඒකත් හොර යතුරුපැදියක්ලු ඉතින් දෙවියනේ කොහොමද වාහන නතර කරන්න කිව්වට නතර කරන්නේ. අද බැලූ බැලූ අත හොරු මංකොල්ලකාරයෝ අපරාධකාරයෝ පිරිලා. ඉහළ පොලිස් නිලධාරීන් මේ වගේ පිස්සෝ ගැන හොයලා බලන්නෙ නැද්ද. අවසානයේ කියනවා අත්වැරදීමකින් මිය ගියා කියලා. හැබැයි මේ ඝාතනයට නම් නිසි දඬුවම් දෙනවද කියා අප බලා සිටින බව ඇය පැවසුවාය.

මියගිය රොෂාන්ගේ මව, බිරිඳ, දරුවන්, ඥාතීන් දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටි අතර අවමඟුල සඳහා විශාල ජනකායක් සහභාගිවී සිටියහ.

ප්‍රදේශයේ විහාරස්ථානවල විහාරාධිපති ස්වාමීන් වහන්සේ විශාල පිරිසක් වැඩම කරවා සිටි අතර ගුණකථන රැසක් පැවැති බවත් පස්වරු හතරට පමණ වෑත්තෑකන්ද ගම්මානය ඇතුළු අවට ගම්මාන වැසියන්ගේ සෝ සුසුම් මැද කඳුළක් ඉතිරි කරමින් ශ්‍රේෂ්ඨ මිනිසා වෙන්නරුකන්ද පොදු සුසාන භූමියේදී මිහිදන් විය.

අලව්ව කවිනි මදූෂා

advertistmentadvertistment
advertistmentadvertistment