චක්‍රලේඛයකින්ම විසඳුම් එනතුරු සරසවි අනධ්‍යයන වර්ජනය දිගටම

39

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක ගැටලුවලට විසඳුම් ලබාදෙන බවට චක්‍රලේඛයක් මගින් ලිඛිතව දැනුම් දෙනතුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනයේ භාණ්ඩාගාරික ටී. ඒ. ඩී. සුරංජීව මහතා ‘දිවයින’ට ඊයේ (05දා) පැවසීය.

මෙම වැඩ වර්ජනය ඊයේ 34 වැනි දිනයටත් ක්‍රියාත්මක කෙරුණු බවද හෙතෙම කීය.

තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේ ද කියා සිටියේය.

පසුගිය මැයි 02 වැනිදා ආරම්භ කරපු මේ වැඩ වර්ජනය තාමත් ක්‍රියාත්මකයි. මාසික හිඟ දීමනා වැඩි කිරීම, 2016 වැටුප් විෂමතාවය ඉවත් කිරීම ඇතුළු ගැටලු කීපයකට විසඳුම් ඉල්ලා අපි මේ වැඩ වර්ජනය ආරම්භ කළේ. මේ ගැටලුවලින් බැට කන විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් දහතුන්දාහක් ඉන්නවා. 04 දා රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා සමග කළ සාකච්ඡාවක් විසඳුමකින් තොරව අවසන් වුණා. එතුමා සමග සාකච්ඡා වට 2ක් පැවැත්වූවා. රජය පැත්තෙන් විසඳුම් ලබාදෙන බවට යෝජනා ඉදිරිපත් වුණා. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ මේකට ලිඛිතව විසඳුමක්. චක්‍රලේඛය මගින් ලිඛිතව ඒ විසඳුම් ලබාදුන්නොත් අපි වැඩ වර්ජනය අවසන් කරනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment