චුඩා යනු මුදුනයි. චූඩාමාණික්‍ය යනු මුදුනේ පිහිටි මැණිකයි. ශරීරයෙහි මුදුන හිසයි. හිසේ මුදුන කේශ කලාපයයි. ජ්‍යොතිර්විiාවේ සඳහන් සිද්ධාන්තවලට එකඟව එම කේශ කලාපයේ මුදුනෙන් කෙස් රොදක් කැපීම චූඩා කර්මය හෙවත් ශුභ නැකතින් කෙස් කැපීමයි. මානවයා මුල් කාලයේදී කෙස් කැපීම සිදුකර නැත. පරිණාමයත් සමඟම කෙස් කැපීම සිදුකර ඇති බව පෙනේ. මුල් යුගයේ මානවයාගේ වාසස්ථානය වූ ගල් ගුහාවේ කාන්තාවන් රැඳී සිටි අතර ඇයගේ කාර්ය වූයේ දරුවන් වැදීමත්, දරුවන් හැදීමත්, පවුලේ අයට ආහාර පිළියෙළ කිරීමත්, පිරිමින්ගේ කායික අවශ්‍යතාවයන් සපුරාලීමත් පමණකි. ඇය හිසකෙස් වැවුවාය. පවුලට ආහාර සැපයූ පුරුෂයා වනයේ තැන් තැන්වල ගමන් කළේය. ඔහුගේ හිසකෙස් ලඳු පඳුරුවල පැටලෙන විට එය ඔහුට කරදරයක් විය. ගල්, ලී හෝ ඇට කැබලි හෝ වෙනත් ද්‍රව්‍ය උපයෝගි කරගෙන මුවහත් ආයුධ නිර්මාණය කිරීමෙන් පසු කරදරකාරී කේශ කලාපය කපා දැමීමට මානවයා උනන්දු විය. එතැන් සිට මෑතක් වනතුරුම හිසකෙස් කපා ඇත්තේ පිරිමියා පමණි. එබැවින් පැරැණි ජ්‍යොතිර්විද්‍යා පොත්වල සඳහන්ව ඇත්තේ පිරිමින්ගේ හිසකෙස් කැපීමට අදාළ සිද්ධාන්ත පමණි.
වත්මන් කළ දරුවා ඉපදුණ සැණින් කෙස් කැපීම රෝහල තුළ සිදු කරන අවස්ථා ඇති බව පෙනේ. ජන්ම නැකත පැවැති විට ශරීරය සම්බන්ධ ක්‍රියා සුදුසු නොවන බව ජ්‍යොතිෂමය විද්‍යාවේ සඳහන්ව ඇති බැවින් ජ්‍යොතිර් විද්‍යාවට අනුව අනුමත කළ නොහැකිය. සත්‍ය තත්ත්වය දැන ගැනීම සඳහා සත්‍ය හෙළි කිරීම සුදුසු යැයි සිතමි.
බ්‍රාහ්මණ දහම අනුව ජලය ශුද්ධ වූ වස්තුවකි. නවීන විද්‍යාව අනුව ජලයට සමාන කිසිදු ආදේශකයක් විශ්වයේ නැත. මෙම සුබ කාර්ය සඳහා ජලය ද එක්තැන් දර ඇත්තේ පැරැණි ඉසිවරුන් විසින් මෙම කාර්යය උසස් බව තවත් ඔප්ගැන්වීම සඳහාය.
මිනිසාගේ වයස සිව් ආකාරයකට ගණන් ගනී
- දින දර්ශන වයස
- කායික වයස
- මානසික වයස
- සමාජීය වයස
- දින දර්ශන වයස:-
දින දර්ශන වයස යනු උපන් දිනය අනුව අදාළ දිනයට යෙදී ඇති වයසයි. එය නියතයකි.
- කායික වයස:-
කායික වයස යනු වයසට අනුරූපව ශරීරයේ ඇතිවන වැඩීමයි.
- මානසික වයස:-
මානසික වයස යනු මනස මුහුකුරා යෑම අනුව ඇතිවන වයසයි.
- සමාජීය වයස
සමාජීය වයස යනු යම් යම් සත්කාර්යයන් අනුව එම පුද්ගලයාගේ නම සමාජයේ පවතින කාලයයි.
කෙස් කැපීමේදී හා ඉඳුල් කට ගෑමේදී දින දර්ශන වයස ගැන හා ඊට අනුරූපව කායිකව හැඩගැසී ඇති දැයි ජ්‍යොතිෂවේදියා විසින් ප්‍රශ්න කර දැනගත යුතුය. අකුරු කියැවීමේදී දින දර්ශන වයසට අමතරව එම දරුවාගේ මානසික වයස ගැන ජ්‍යොතිෂවේදියා විසින් ප්‍රශ්න කර දැනගත යුතුය.
දරුවා කතා කරන වයසේදී කෙස් කැපීම සිදු නොකරයි. එක් එක් දරුවාගේ දින දර්ශන වයසට අනුරූපව ඇතිවන කායික වැඩීම අනුව මෙම වයස් සීමාව අඩු වැඩි වේ. එබැවින් මෙවැනි නැකත් සෑදීමේදී ජ්‍යොතිර්වේදියාද සමතුලිතව සිටිමින් ප්‍රශ්න කරමින් මෙම සත්කාරයෙහි යෙදිය යුතුව ඇත. කුඩා දරුවන් බොහෝවිට හිස කෙස් කපනවාට කැමැති නැත. ඔවුහු හිසකෙස් කපනවාට තම අකමැත්ත පල කරති. හඬති, හිස වනති, තම විරෝධය පළ කරති. කම්පනයට පත්වෙති. කතා කරන වයසේදී එම කම්පනය නිසා හෝ වෙනත් කිසියම් සිදුවීම් නිසා හෝ දරුවාගේ කතාවේ ගොත ගසන අවස්ථා දැක තිබේ. පසු කලෙකදී ස්වාපන වෛද්‍යවරුන් විසින් එම දරුවා මෝහනයට පත්කර යටි සිත අවදිකර එම යට සිතේ පවත්නා අතීත කම්පනය ඉවත්කිරීමත් සමඟම එම දරුවාගේ ගොත බව ඉවත්කරන අවස්ථාද දැක ඇත. මෙයින් අපට හෙළිදරව් කරන රහස කුමක්ද?
දරුවකුගේ හිසකෙස් කපනවිට සත හෙවත් ගොළු චක්‍රය නම් පැරැණි නැකත් චක්‍රයට එකඟ වන පරිදි ගොළු නැකත් අත්හැර සුබ නැකත් සෑදීම ජ්‍යොතිර්වේදියාගේ කාර්යභාරය විය. නැකතක් යනු එම දවසට සඳ තිබෙන තැනයි. ජ්‍යොතිෂයේදී සඳ යනු සිතයි. ගොළු සත අනුව ගොළු නැකත් උදාවන විට සඳ ඇත්තේ සිතේ පෞර්ෂය ඉතා දුබල වන සිත කම්පනයට ඔරොත්තු නොදැන තැනක සඳ තිබුණොත් එම කම්පනය යටි හිත දක්වා බැස කම්පන විකෘතියක් ලෙස ගොත බව ඇතිවේ. මෙය අවබෝධ කරගත් පැරැණි ඉසිවරු ලෙඩක් සුවපත් කිරීමට වඩා එම රෝගය වැළඳීම වැළක්වීමට සිතීම වඩාත් අගනා බව සලකා ගොත බවට පාදක වන වයසේදී හිසකෙස් කැපීමේ නැකැත් නොසාදන ලෙස ජ්‍යොතිර්වේදීන්ට උපදෙස්දී ඇත.
ඔත්තේ මාස හෝ වසරවලදී පිරිමින්ගේ ද, ඉරට්ටේ මාස හා් වසරවලදී කාන්තාවන්ගේද, හිසකෙස් කැපීම සිදු කරයි. පියා උපන් නැකතින් පුතාගේ කෙසේ කැපීම සුදුසු නැත. මව ගැබ්බරව සිටී නම් දරුවාගේ කෙස් කැපීම සුදුසු නැත. මවගේ උපන් නැකතින් දුවගේ කෙස් කැපීම සුදුසු නැත. දරුවා අසනීප නම්ද, ආහාර ගත් කෙණෙහිමද, නිරාහාරව සිටිද්ද, දරුවාගේ වෙහෙස මහන්සිවී සිටින විටදීද කෙස් කැපීම සිදුකෙරෙයි.
විශ්වයේ පවතින නැකැත් 27 න් නැකත් 13 ක් මෙම සුබ කාර්ය සඳහා යොදා ගනී.
- අස්විද
- රෙහෙන
- මුව සිරස
- පුනාවස
- පුස
- උත්‍රපල්
- හත
- සිත
- සා
- සුවණ
- දෙනට
- සියාවස
- රේවතී
එම නැකැත් 13 යි. දරුවා උපත ලැබූ ජන්ම නැකතට සම්පත්, ක්‍ෂේම, සාදක, මෛත්‍රී, පරම මෛත්‍රී, ගුණාත්මක නැකතක් එන පරිදි ඉහත නැකත් 13 න් එකක් යෙදුන සුබ දවසක ශුභ හෝරා බලයෙන් මෙම සුබ කාර්යය සිදුකරයි.
ත්‍රී ජන්ම නැකත් සහ දෙමව්පියන්ගේ ජන්ම නැකැත් අත්හරින්න. සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දවසක 7, 10, 11 තිථි යෙදෙන්නේ නම් සුබයි. 15, 12 තිථි සම බැවින් එවැනි දිනයන්ද ගැළපේ. ජන්ම ලග්නයෙන් 7, 8 සහ 12 ට යෙදෙන රාශි අත් හරින්න. සුබ නැකත යෙදෙන කාලයේදී රවි, අව, සඳු, අඟහරු, සෙනසුරු ආදීන් කේන්ද්‍රගතවීම අසුබයි. එවැනි පාපී ග්‍රහයන් 3, 6, 11 යන භාව ගතවීම සුදුසුයි. මුහුර්ථි චින්තාමණී මතය අනුව මෙම සුබ කාර්යය බක් මාසයේදී යොදා ගැනීම සුදුසු නැත.
චූඩා කර්මය සඳහා සුබ නැකැත් සෑදීමේදී ඉහත සඳහන් පරිදි දරුවාගේ කේන්ද්‍රයට සම්බන්ධ කරුණු ද ඔහුගේ පරිසරයට සම්බන්ධවූ දෙමාපියන් හා බැඳි කරුණුද විශ්වයේ ග්‍රහ පිහිටීම හා බැඳි කරුණුද සලකා බැලිය යුතුය.
සාමාන්‍ය දරුවකුගේ කෙස් කැපීම සිදු කරන්නේ මෙසේය.
ලද පස්මල් හෙවත් එළ අබ, ඊතණ, දෑ සමන්, සුනු සහල්, විළඳ හොඳින් කොටා හක්ගෙඩියකට හෝ නැවුම් සෙම්බුවකට හෝ දමා එය පිරිසිදු ජලයෙන් හොඳින් දිය කරන්න. මව විසින් දරුවා වඩාගෙන සිටියදී ඉහත සඳහන් හක්ගෙඩිය හෝ නැවුම් සෙම්බුව දරුවාගේ හිස වටා දක්ෂිණාවර්තව තුන් වරක් කරකාවා එම ජලයෙන් දරුවාගේ හිස මුදුනේ හිසකෙස් ස්වල්පයක් තෙමා ඉන්පසු මුදුනේ කෙස් රොදක් සුබ වේලාවට සුබ දිශාවට මුහුණ පා සිටිමින් කපන්න. එම කාර්යය සුභව සිදු කිරීමෙන් අනතුරුව ඖෂධීය හිසතෙල් ස්වල්පයක් හිසේ ගාන්න. කපන ලද හිසකෙස් ගලා යන ජල පහරකට දමන්න.
හේළි සරත් රාජකරුණා,
විද්‍යා ජ්‍යොතිෂ,
දලුග්ගල, රඹුක්කන.
දුරකථන 035-2262837