ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසුව එක්ව කටයුතු කිරීම සඳහා කිසිදු ස්වාධීන කණ්ඩායමක් සමග හෝ කිසිදු පක්ෂයක් සමග සාකච්ඡා කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඉරිදා ‘දිවයින සංග්‍රහය’ සමග පැවසීය.
ඒ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය. පසුගිය කාලයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වූ සමහර පුද්ගලයින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ස්වාධීනව සහ වෙනත් පක්ෂවලින් තරග කරනවා. නාමල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළ බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව කටයුතු කිරීමට නාමල් රාජපක්ෂ මහතා සමග එකඟතාවයකට පැමිණි බවත් එම අපේක්‍ෂකයන් ඡන්ද දායකයන්ට ප්‍රකාශ කරන බව අපට දැනගන්නට ලැබී තිබෙනවා.
එබඳු සාකච්ඡා හෝ එකඟතාවයක් හෝ ඇතිකර ගෙන නොමැති බව මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. වෙනත් අපේක්ෂකයන්ට ඡන්දය දෙන ලෙසට කිසිදු ඉල්ලීමක් අප කර නෑ.
එරික් ගාමිණී ජිනප්‍රිය