කොළඹ වරාය දකුණු ආසියාවේ ප්‍රමුඛතම ප්‍රතිඅපනයන මධ්‍යස්ථානය කළ අමරසේකර යුගය

356

කෘතහස්ත රාජ්‍ය නිලධාරියකු වූ විමල් අමරසේකර මහතා අප අතරින් වියෝවී 2018 නොවැම්බර් 18 දිනට 30 වසරක් සපිරේ. රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු ගණනාවක්ම දරා 1979 වර්ෂයේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය පිහිටු වීමත් සමග එහි සභාපති ධුරයට පත්ව වසර දහයකට වැඩි කාලයක් මෙරට වරාය ක්‍ෂේත්‍රයේ දියුණුවට ඉමහත් දායකත්වයක් සැපයූ ඒ මහතා සැමගේ ගෞරවයට පාත්‍රවූ අසමසම රාජ්‍ය නිලධාරියකු බව වරාය සේවකයෝ අද ද ප්‍රශංසා මුඛයෙන් සඳහන් කරති.

දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ ඉමදුව ග්‍රාමයේ වතු ක්‍ෂේත්‍ර නිලධාරියකුගේ දෙවැනි පුතනුවන් වශයෙන් 1936 වර්ෂයේ දී ජන්ම ලාභය ලද අමරසේකර මහතා සිය මූලික අධ්‍යාපනය ගමේ පාසලෙනුත්, එවකට පැවැති පස්වන පන්තියේ ශිෂ්‍යත්ව විභාගය සමත්වී වඳුරඹ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්ව ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයෙන් උසස් ප්‍රතිඵල පෙන්වීම උඩ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වීමේ භාග්‍යය ලැබීය. විශ්වවිද්‍යාල ප්‍රවේශය ද ඉතා ඉහළින් සමත්වී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර, අඩු වයසකින් සිය උපාධිය සම්පූර්ණ කිරීමට හැකි වීම නිසා එවකට පැවැති සුවිශේෂමය රාජ්‍ය පරිපාලන විභාගයවූ ලංකා සිවිල් සේවා විභාගයට සාර්ථකව පෙනී සිටි පළමු හයදෙනා අතරට තේරිණි. ලංකා සිවිල් සේවාවේ අනුප්‍රාප්තික සේවාව වූ ශ්‍රී ලංකා පරිපාලන සේවාවට දැන් වසරකට සිය ගණනක් බඳවා ගන්නා වියේවූ නමුදු එකල සිවිල් සේවාවට බඳවා ගනු ලැබුවේ වර්ෂයකට හයදෙනකු පමණි. එයින් එම සේවාවට පත් වූවන් ඉහළම හැකියාවන්ගෙන් පරිපූර්ණ වූවන් බව මනාව පැහැදිලි වේ. සිය රාජ්‍ය සේවාව අලුතෙන් ඇති කරන ලද මොනරාගල දිස්ත්‍රික්කයේ මහා දිසාපති වශයෙන් ආරම්භ කරන ලද විමල් අමරසේකර මහතා එහි තම සේවා කාලය නිමවීමෙන් පසු යාපනය මහා දිසාපති තනතුරට උසස් වීමක් ලැබීය. මෙකී පත්වීම් නිසා එකී පළාත්වල සංවර්ධනයේ මූලිකයා වශයෙන් කටයුතුකොට ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වයන් නඟාලීම සඳහා නොයෙකුත් සංවර්ධන ක්‍රියාවලි මෙහෙයවීමේ අවස්ථාව එතුමාට උදා විය.

අමරසේකර මහතාගේ යාපනය දිස්ත්‍රික්කයේ සේවා කාලය නිම වීමෙන් පසු එවකට සිටි අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් ඒ මහතා කොළඹ දිස්ත්‍රික්කයේ මහා දිසාපති තනතුරට පත් කරුණු ලැබීය. කොළඹ දිස්ත්‍රික්කයේ මහා දිසාපති තනතුර ප්‍රාදේශීය පරිපාලනයේ ඉහළම තනතුර වශයෙන් සැලකෙන අතර ශ්‍රී ලංකාවේ පැවැත් වූ ප්‍රථම රාජ්‍ය නායක සමුළුව වූ නොබැඳි ජාතීන්ගේ සමුළුව සංවිධානය කිරීමේ ක්‍රියාවලියෙහිලා අග්‍රාමාත්‍යතුමියට සෑහෙන පිටිවහලක් ඒ මහතාගෙන් ලැබිණ. 1977 වර්ෂය අගදී රාජ්‍ය පරිපාලනය පිළිබඳ වැඩිදුර පුහුණුව සඳහා අමරසේකර මහතාට ප්‍රංශ රජයේ ශිෂ්‍යත්වයක් හිමි විය. එම පුහුණුව සාර්ථකව අවසන් කර දිවයිනට පෙරළා පැමිණ සී-නෝර් පදනමේ සභාපති වශයෙන් කෙටි කලක් සේවය කරන ලදි.

1979 වර්ෂයේදී රජයේ දෙපාර්තමේන්තුවක් වූ කොළඹ වරාය කොමිෂන් සභාවක්, රාජ්‍ය සංස්ථා දෙකක් වූ වරාය (නැව් බඩු) සංයුක්ත මණ්ඩලය සහ වරාය සැසඳුම් හා ආරක්‍ෂක සේවා සංස්ථාවත් එකාබද්ධ කොට ශ්‍රී ලංකා වරාය අධිකාරිය පිහිටුවනු ලැබූ අවස්ථාවේදී විෂය භාර අමාත්‍යවරයා වූ ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා විසින් එහි සභාපති ධුරයට තමාගේ රාජකීය විද්‍යාලයීය සගයා වූ විමල් අමරසේකර මහතා පත් කරනු ලැබීය. නොයෙකුත් සේවක වර්ගවලට හා වෘත්තීන්ට අයත් වූත්, විවිධ පරිපාලන රෙගුලාසි යටතේ පාලනය වූත්, නානාප්‍රකාර වැටුප් පද්ධති මතවූත් දහඅටදහසකට ආසන්න සේවක පිරිසක් ඒකීය පරිපාලන ව්‍යුහයක් යටතට ගෙන ඒම ඉතාමත්ම අසීරු කාර්යයක් විය. පැන නැඟී ප්‍රශ්න හා ගැටලු එමටය. එසේ වුවද ඉතා සුළු කාල සීමාවක් තුළ දී කිසිදු සේවක පිරිසකට අගතියක් නොවන පරිද්දෙන් එකී ගැටලු හා ප්‍රශ්න නිරාකරණය කිරීමට අමරසේකර මහතාට හැකි වන එයින්ම ඒ මහතාගේ පරිපාලනයේ සුවිශේෂ දක්‍ෂතාවය හා විචක්‍ෂණ භාවය මනාව ස්පුඨ විය. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධුරය දැරූ වසර දහය තුළ කොළඹ වරාය දකුණු ආසියාවේ ප්‍රමුඛ ප්‍රතිඅපනයන මධ්‍යස්ථානයක් බවට දියුණුකරලීමේ කාර්යයහිලා ඉතා වැදගත් මෙහෙයක් ඒ මහතාගෙන් ඉටුවූ බව සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. ‘අමරසේකර යුගය’ වරාය ඉතිහසයේ ස්වර්ණමය කාල පරිච්ඡේදයක් බව වරාය සේවකයෝ කෘතවේදීව අදත් පවසති.

විශිෂ්ට ගති පැවතුම් හා මානුෂික අගයන්ගෙන් යුතු පුද්ගලයන් අපේ මතකයෙන් ලෙහෙසියෙන් ඉවත්ව නොයන අතර අමරසේකර මහතා ද එවැනි සුවිශේෂී පුද්ගලයකු විය. ඒ මහතා අප අතරින් වියෝවී වසර 30ක් ගත වන මේ අවස්ථාවේ අපි ඉතා ගෞරවයෙන් හා භක්තියෙන් ඒ මහතා සමරමු.

එච්. ඩී. ගුණරත්න

advertistmentadvertistment
advertistmentadvertistment