ජනපති රනිල්ගේ ඇරයුමෙන් මෝදි අගෝස්තුවේ ශ්‍රී ලංකාවට

98

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන අගෝස්තුවේ සිදු කෙරෙනු ඇතැයි පැවසෙන ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්. කේ. ජයශංකර් මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කළේය.

දිවුරුම් දීමේ උත්සවයෙන් පසු ජනපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහත්වරුන් අතර පැවති විශේෂ හමුවේදී මෙරටට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුට ආරාධනා කළේය. ඒ අනුව ඇමැති ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති හමුවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

මේ කාරණය පිළිබඳව සාකච්ඡා කිරීමට හැකි ඉක්මනින් තමන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් එහිදී මෙරට කෙරෙන ඉන්දීය ආයෝජන ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බලන බවත් අතරමඟ නතර වී ඇති ව්‍යාපෘති නැවත ඇරඹීමට කටයුතු කරන බවත් ජයශංකර් මහතා දැනුම් දුන්නේය. අසල්වැසියාට පළමු තැන දෙන ඉන්දීය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු විය.

ඉන්දීය රජය විසින් ත්‍රිකුණාමලය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කරනු ලබන කර්මාන්ත කලාපය ගැන පැවති සාකච්ඡාවේදී ඉන්දීය ආයෝජකයන් රැසක් එහි සිය ආයෝජන කටයුතු ආරම්භ කරන බව සඳහන් කර ඇති ජයෂංකර් මහතා ඉන්දීය ආයෝජකයන්ට අමතරව වෙනත් රටවල ආයෝජකයන්ද මෙම කර්මාන්ත කලාපයේ ආයෝජන සඳහා සම්බන්ධ කරන බව සඳහන් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේ කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආර්ථික කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි බලතල නව ආර්ථික පරිවර්තනීය පනතින් පළාත් සභාවලට ඇතුළත් වන බවයි. එසේම සත්‍ය හා ප්‍රතිසන්ධාන පනත ලබන ජුලි මාසය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයෂංකර් මහතා හමුවේ පවසා තිබේ.

කෘෂිකර්ම නවීකරණය ගැන පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවෙන් පසු දෙරටෙහි ධීවරයන් අතර පවතින ගැටලු විසඳා ගැනීම සම්බන්ධයෙන්ද ඉක්මනින් සාකච්ඡා කොට විසඳුමකට පැමිණිය යුතු බවට එකඟතාවකට එළැඹිණි.

වතු ලැයින් කාමර වතු ගම්මාන වශයෙන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව කී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් එම ගම්මාන දියුණු කිරීමට හැකියාව ලැබෙන බවද සඳහන් කළේය.

යළිත් වරක් අමාත්‍ය ධුරයට පත්වීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ජයෂංකර් මහතාට සුබපැතුම් පළ කළේය.
චමින්ද සිල්වා ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට

advertistmentadvertistment
advertistmentadvertistment