මැතිව්ස් සහ චමීර අද ඉන්දියාවට

283

ජ්‍යෙෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන සංචිතයේ අතිරේක ක්‍රීඩකයන් ලෙස කැඳවීමට තීරණය කර ඇති බව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඒ අනුව මැතිව්ස් සහ චමීර අද (20 වැනිදා) ඉන්දියාව බලා පැමිණීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය හෙට (21 වැනිදා) නෙදර්ලන්තය සමග පැවැත්වේ.

ඔවුන් දෙදෙනා සංචිතය සඳහා එක් කර ගැනීමට නම් ක්‍රීඩකයන් දෙදෙනකු ආබාධයන්ට ලක්ව ඇති බව තාක්ෂණ කමිටුවට දැනුම් දීමෙන් අනතුරුව ඒ සඳහා අනුමැතිය හිමිවිය යුතු වේ.

කෙසේ වෙතත් මේ වන විටත් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධ ලැයිස්තුවට එක්ව තිබේ.

ඔහු වෙනුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් කණ්ඩායමට ගෙන්වා ගැනීම කලින් සැලසුම වූ නමුත් දුෂ්මන්ත චමීර සම්පූර්ණයෙන්ම සුවය ලැබීමත් සමඟ චමීරගේ සහය කණ්ඩායමට ලබා ගැනීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.

වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පසුගිය ජුනි මාසයේ සිට ආබාධයකට ලක්ව කණ්ඩායමෙන් ඉවත්ව සිටියද පසුගිය අගෝස්තු මාසයේදී පැවති එල්පීඑල් තරගාවලියේ තරග 4 කට පමණක් සහභාගි වී යළි ආබාධයක් මත එම තරගාවලියෙන්ද ඉවත් වූයේය.

චමීර ශ්‍රී ලංකාව සඳහා තරග 44 කට සහභාගි වී කඩුලු 50 ක් ලබා ගෙන ඇත.

36 හැවිරිදි ඇන්ජලෝ මැතිව්ස් මේ වනවිට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් දින ජාත්‍යන්තර තරග 221 කට සහභාගි වී ශතක 3ක් සහ අර්ධ ශතක 40 ක් ද සමග ලකුණු 5865 ක් වාර්තා කර තිබේ. ඔහු එහි දී කඩුලු 120 ක් ද තම නම ඉදිරියේ සටහන් කරගෙන ඇත.

මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව නවසීලන්තයේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී ඔහුට කණ්ඩායමට පැමිණීමට අවස්ථාව ලැබුණු නමුත් ඔහු නවසීලන්තයට සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග තුනේදී ලකුණු 18, 0 සහ 12 ක් ලබා ගැනීමත් සමඟ නැවතත් කණ්ඩායමෙන් ඉවත් කෙරිණි.

මැතිව්ස් 15 දෙනකුගෙන් යුත් සංචිතයට එක්වීමට නම් ක්‍රීඩකයකු ආබාධයකට ලක්විය යුතුය.

මතීෂ පතිරණගේ පන්දු යැවීමේ හස්තයේ සිදුවූ ආබාධයක් හේතුවෙන් ඔහුට අවම වශයෙන් දින 10ක් ක්‍රීඩාවෙන් ඉවත් වී සිටීමට සිදුවී ඇත.

කුෂාන් සුබසිංහ ලක්නව් නුවර සිට

advertistmentadvertistment
advertistmentadvertistment