රජය පැත්තෙන් නොයෙකුත් ජනතා සහන සැලසීමේ ප්‍රකාශ මේ දිනවල අපට අසන්නට ලැබේ. එසේම ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත්ව සිටින විවිධ අපේක්ෂකයන්ගෙන් ද ජනතාවට සහන සැලසීමේ විවිධ ප්‍රකාශ මේ දිනවල ජනතාවට අසන්නට ලැබේ. එහෙත් රජයක් විසින් ලබාදෙන සියලු සහනවල බර දරන්නේ බදු ගෙවන ජනයා බැවින්, මේ කියන සහන සැබෑ ජනතා සහන ද එසේ නැත්නම් යම් යම් කණ්ඩායම් ඉලක්ක කරගෙන දෙන සහන ද යන්න ගැන මහජන අවධානයට ලක් විය යුතුව ඇත. එනම් මේ කියන සහන භාණ්ඩ හා සේවා මත පනවා ඇති බදු අඩු කිරීම ඇතුළු පොදු මහජනයා ඉලක්ක කරගෙන දෙන ජනතා සහන ද යන්න ගැන ඉතා අමාරුවෙන් පොදු ජනයා ජීවත් වන මෙවැනි කාලයක විශේෂයෙන් සැලකිය යුතුව ඇත. මේ කොයි සහනය දෙනවා කිව්වත් අනිත් කරුණ මෙය මැතිවරණ සමයක් වීමයි. ඒ නිසා එවැනි සහන සැලසීමට ඇති රජයේ ආර්ථික ශක්තියට වඩා දේශපාලන වාසි අපේක්ෂාවෙන් නොයෙකුත් සහන දෙන බව රජය මෙන්ම වෙනත් ජනපති අපේක්ෂකයන් ද මේ මොහොතේ ප්‍රකාශ කරනවා විය හැකිය. මේ පසුබිම තුළ මේ කොයි කවුරුත් කියන කතා දෙස මහජනතාව වඩාත් විමසිල්ලෙන් තේරුම් ගත යුතුව ඇත.
ජනපතිවරණය හමුවේ ලබාදෙන නොයෙකුත් සහන ගැන රජයට නොයෙකුත් විවේචන මේ වන විටත් එල්ල වී ඇත. වෙනත් විවිධ දේශපාලන පක්ෂවලින්, විවිධ ජනපති අපේක්ෂකයන්ගෙන් මෙන්ම පැෆරල් සංවිධානය වෙතින් ද මේ දෝස්මුරය රජයට එල්ල වී තිබේ. මේ ගැන එම පාර්ශ්වයන් විසින් මැතිවරණ කොමිෂන් සභාව ද මේ වන විටත් දැනුවත් කර තිබේ. මේ සම්බන්ධයෙන් මැතිවරණ නීති ප්‍රකාරව කටයුතු කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමයි.
මේ අතර වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න මහතා ඉකුත් බ්‍රහස්පතින්දා (22) මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබුණේ රාජ්‍ය සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය සියයට 24 කින් හා ඊට අනුරූපීව සියලුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා සියයට 24 සිට සියයට 50 ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප 2025 වසරේ ජනවාරි මාසයේ සිට ඉහළ දැමීමට කටයුතු කරන බවයි. එසේම සියලුම රාජ්‍ය සේවකයන් සඳහා පවතින උද්ධමනය හා ආර්ථික සාධක සැලකිල්ලට ගෙන පාදක වසර ලෙස 2025 ජනවාරි මාසයේ සිට ජීවන වියදම් දීමනාව වසර තුනක් දක්වා නොවෙනස්ව රුපියල් 25,000.00 බැගින් ලබා දීමට ද වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුව යෝජනා කර ඇත. මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හා භාණ්ඩාගාර එකඟත්වය ලැබී ඇති බව සඳහන් කර ඇති සෙනෙවිරත්න මහතා නව සංශෝධනය සමග රාජ්‍ය සේවයේ පහළම සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 30,000.ක් වන අතර ජීවන වියදම් දීමනාව ද සමග මුළු වැටුප රුපියල් 55,000.ක් වන බව ද කියා සිටියේය. වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න මහතා මෙම අදහස් පළ කළේ, ‘ස්ථාවර රටකට – සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පසුගියදා (22) පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි. මේ මාධ්‍ය හමුව අමතමින් ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ කුමන ආණ්ඩුවක් බලයට පත් වුවත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමේ අවශ්‍යතාවක් පවතින බවත් පසුගිය කාලවලදී සිදු කළ රාජ්‍ය සේවා වෘත්තීය ක්‍රියාමාර්ග සලකා බලා වැටුප් විෂමතා නැති කිරීමට මෙම යෝජනා ඉදිරිපත් කළ බවයි. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් අවශ්‍ය බවට සැකයක් නැත. එහෙත් රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් වන බව කීවත් උදය සෙනෙවිරත්න මහතාට කිව යුත්තේ මෙවැනි ඉතා දුෂ්කර ආර්ථික තත්ත්වයක රට පවතින විට සහ ඉතා අමාරුවෙන් පොදු ජනයා ජීවත් වෙමින් සිටිය දී එම රාජ්‍ය සේවක වැටුප් බර ද අතිරේකව දැරීමට සිදුවෙන තත්ත්වයක් හමුවේ සාමාන්‍ය පොදු ජනයාට ඇතිවන ආර්ථික බලපෑම ද සැලකිය යුතුව ඇති බවයි.
සියලුම රාජ්‍ය සේවකයින් සඳහා පවතින උද්ධමනය හා ආර්ථික සාධක සැලකිල්ලට ගෙන, මේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම් යෝජනා කර තිබුණත් රටේ පොදු ජනයාටත් ඔය කියන ආර්ථික සාධක සහ උද්ධමනය බලපානු ලබන බව ද උදය සෙනෙවිරත්නට අප සිහිපත් කළ යුතුව ඇත. මේ නිසා අප සිතන්නේ ආර්ථික අර්බුදයෙන් ක්‍රමයෙන් රට ගොඩ ගැනීම සඳහා සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණවල බර, වේදනාව දැරීමට සමාජයේ සියලු පාර්ශ්වයන් අඩු වැඩි වශයෙන් දායක විය යුතුව ඇති බවයි. ඒ නිසා මේ ලියුම්කරු සිතන්නේ එම ආර්ථික පීඩාවේ බර යම් යම් තෝරාගත් කණ්ඩායම් අත්හරින්නේ නැතිව සියලු දෙනාටම සාධාරණ පදනමක් මත අඩු වැඩි වශයෙන් දැරීමට සැලැස්විය යුතුව ඇති බවයි. එසේ නැතහොත් වන්නේ කුමක් ද? එනම් තෝරාගත් කණ්ඩායම්වල ආර්ථික පීඩනය හෝ උද්ධමන බලපෑම් සමනය කිරීමේ දී, රජය කරන්නේ, ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට සිදුකරන ප්‍රතිසංස්කරණවල පීඩාව (වේදනාව) රටේ බහුතර පොදු ජනයාට වැඩි වශයෙන් විඳීමට සැලැස්වීමයි. මේ දක්වා වූයේ ද එයයි. මෙතෙක් සිදු කළ බදු ප්‍රතිසංස්කරණ ගත්තත් වඩාත් වැඩි වී ඇත්තේ භාණ්ඩ හා සේවා මත පනවන වක්‍ර බදු බර වැඩි වීමයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් ඒවා තිබූ නිවේදනයේ මෙසේ ද සඳහන්ය.
‘ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා රාජ්‍ය සේවය ඉමහත් කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර එය සංවර්ධනයේ ගාමක බලවේගය ද වේ. වර්තමානයේ රාජ්‍ය සේවයේ පවතින සියලුම අභියෝග ජය ගැනීම සඳහා සිදුකළ යුතු ප්‍රතිනිර්මාණකරණයන් සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙනු ලබන අතර, රාජ්‍ය සේවකයින් සඳහා තෘප්තිමත් රැකියා පරිසරයක් ද, ජනතාවට විශිෂ්ට සේවයක් ද, ආර්ථික සංවර්ධනය සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන ගාමක බලවේගය බවට පත් කිරීම සඳහා පුළුල් වූ වැඩසටහනක් ද වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂ කමිටුව ඉදිරිපත් කර ඇත. විශ්‍රාමිකයින් සඳහා ද, 2025 ජනවාරි මස සිට ජීවන වියදම් දීමනාව රුපියල් 12,500. බැගින් ලබා දීමටත්, 2020 වසරට පෙර විශ්‍රාම ගත් රාජ්‍ය සේවකයින්ගේ මෙතෙක් නොගෙවන ලද වැටුප් වර්ධකය ලබා දී ඔවුන්ගේ විශ්‍රාම වැටුප ඒ අනුව සංශෝධනය කිරීමට ද ක්‍රියා කරනු ඇත.’
මේ කියන පරිදි ජනාධිපති මාධ්‍ය අංශය අපට කියන්නේ සංවර්ධනයේ ගාමක බලවේගය රාජ්‍ය අංශය බවයි. මේ කියන විදියට නම් තවත් රාජ්‍ය සේවකයන් බඳවාගෙන රාජ්‍ය අංශය තවත් ශක්තිමත් කළහොත් රටේ ආර්ථික සංවර්ධනය තවත් වේගවත් වනු ඇත. එහෙත් මේ සම්බන්ධයෙන් පසුගියදා නිකුත් වූ වැටුප් විෂමතා ඉවත් කිරීමේ අතුරු කමිටු වාර්තාවේ සඳහන් වන්නේ කුමක් ද? එනම් එහි එක් යෝජනාවක සඳහන් වන්නේ වර්ෂ 2030 න් පසුව රාජ්‍ය සේවක පිරිස ලක්ෂ 10 කට හෝ ඊට අඩුවෙන් පවත්වාගෙන යායුතු බවයි. එසේ නම් ජනපති පත්කළ මේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ කමිටුව නිර්දේශ කර ඇත්තේ රාජ්‍ය සේවක පිරිස ඉදිරියේ දී අඩු කර ගැනීමටයි. ඒ අනුව රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් ද ඉදිරියේ දී සීමා වනු ඇත. එසේ නම් සංවර්ධනයේ ගාමක බලවේගය රාජ්‍ය අංශය බවට ජනාධිපති මාධ්‍ය අංශය කියන මේ කතාව මේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ කමිටුව හෝ පිළිගන්නා දෙයක් නොවන බව අපගේ අදහසයි. එසේම අතිරික්ත සේවක පිරිසකට වැටුප් ගෙවමින් විශාල රාජ්‍ය අංශයක් නඩත්තු කිරීමට සිදු වීමෙන් රාජ්‍ය අංශය මේ රටේ බදු ගෙවන මහජනතාවට බරක් බවට ද පත්ව ඇත. ඒ බර සැහැල්ලු කරමින් කළ යුතු වන්නේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වර්ධනය කිරීමට පියවර ගැනීමයි. එසේ කරමින් තමන්ට වැටුප් ගෙවන බදු ගෙවන පුරවැසි ජනයාට හොඳ රාජ්‍ය සේවයක් සැලසීමට පියවර ගැනීමයි. රාජ්‍ය සේවයේ කාර්යභාරය අපි කිසිවිටෙකත් අවතක්සේරු නොකරමු. එහෙත් රාජ්‍ය සේවකයන්ගේ ස්වාමියා ඔවුන්ට වැටුප් ගෙවන බදු ගෙවන ජනතාවයි. එය ඔවුන් මෙන්ම රජයත් අමතක නොකළ යුතුය. රාජ්‍ය සේවකයන් පමණක් නොව සමාජයේ බහුතරයක් වන අනෙකුත් බදු බර දරන සියලු දෙනාම ජීවත් වන්නේ ඉතා අමාරුවෙන් වුවත් ඒ අයට උද්ධමනය හෝ ඔය කියන ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන රජය සලසන සහනය කුමක් ද? මේ ප්‍රශ්නය අපි වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහගෙන් පමණක් නොව අනෙකුත් සියලුම ජනපති අපේක්ෂකයන්ගෙන් ද විමසා සිටිමු. ඔවුන්ට මේ ගැන තම පිළිතුර තම දේශපාලන වේදිකා හරහා ජනතාවට ප්‍රකාශයට පත් කළ හැකිය.
2022 වසරේ රටත්, ජනතාවත් මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසු මේ වන විට තරමක් දුරට ආර්ථිකය ගොඩට පැමිණ ඇත. එහෙත් සාමාන්‍ය ජනයා ජීවත් වන්නේ ඉතාමත් අමාරුවෙන් බව රහසක් නොවේ. එනම් ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී රජය විසින් අනුගමනය කළ බදු වැඩි කිරීම් ඇතුළු ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් අතිමහත් බහුතර සාමාන්‍ය ජනයා මත අධික පීඩනයක් එල්ල වී ඇත. මේ නිසා ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා මෙතෙක් සිදුකළ සහ තවදුරටත් කිරීමට තිබෙන ප්‍රතිසංස්කරණ ක්‍රියමාර්ග හේතුවෙන් ඇතිවෙන ආර්ථික පීඩාව (වේදනාව) වැඩි වශයෙන් දරමින් සිටින්නේ ද රටේ බහුතර සාමාන්‍ය ජනයාම බව ද පැහැදිලිය. එහෙත් විය යුත්තේ කුමක් ද? එනම් ඇත්ත වශයෙන්ම මේ පීඩාව සමාජයේ සියලු පාර්ශ්වයන් (රාජ්‍ය සේවකයන් සහ මහ බැංකු සේවකයන් ද ඇතුළුව) සාධාරණ පදනමක් මත අඩුවැඩි වශයෙන් බෙදා ගැනීමයි. එවිට සාමාන්‍ය ජනයා මත මේ ආකාරයෙන් අධික පීඩනයක් එල්ල වන්නේ නැත. ඒ නිසා ඔවුන්ගේ පීඩනය තරමක් දුරට හෝ සමනය කරමින් ඒ සඳහා පියවර ගත යුතුව තිබේ. එය තවත් මසකින් පමණ පත්වෙන අලුත් ජනපති ප්‍රමුඛ නව රජයේ වගකීමක් වනු ඇත. වත්මන් රනිල් වික්‍රමසිංහ රජය විසින් අයිඑම්එෆ් සහාය ගෙන ආර්ථිකය කිසියම් ස්ථාවර තත්ත්වයකට පත්කර ඇති බව ඇත්තය. එහෙත් මේ රජය එතරම් සාමාන්‍ය ජනයාට එල්ල වන අධික පීඩනය සහ ඔවුන්ගේ ජීවත්වීමේ අමාරුව ගැන එතරම් තැකුවේ නැත. මේ නිසා ඇතැම් විට දේශපාලන වාසි අපේක්ෂාවෙන් මේ රජය ලබාදෙන බව කියන රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ඇතුළු සහන ගැන කිව යුත්තේ ද ඒවායේ සියලු බර දරන්නේ ද ඔබ අපම බවයි. එනම් රජයක් විසින් ලබාදෙන සියලු සහනවල පිරිවැය දරන්නේ බදු ගෙවන ජනයා විසින්ම බවයි. එම විශේෂිත කණ්ඩායම්වලට දෙන සහනවල වියදම් බදු ගෙවන ජනයා අතර බෙදී ගිය විට වනු ඇත්තේ ඔවුන්ගේ බර තවත් වැඩි වීමයි.
ඒ නිසා රාජ්‍ය සේවකයන් හෝ වෙනත් යම් යම් කණ්ඩායම් ඉලක්ක කරගෙන රජයක් විසින් ලබාදෙන සහන ගැන එම විශේෂිත කණ්ඩායම්වල සාමාජිකයින් සතුටු විය හැකි වුවත් රටේ බදු ගෙවන අතිමහත් බහුතර පොදු මහජනයාට කිව යුත්තේ ඒ සියලු සහනවල බර දරන්නේ ඔබ විසින් බවත් එසේම ඉන් ඉතාම පැහැදිලිව සිදු වන්නේ ඔබ විසින් දැනට දරමින් සිටින පීඩනය තවත් උග්‍ර වීම බවත්ය. එහි අදහස රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකළ යුතු බවක් නොවේ. උද්ධමනය ඇතුළු ජීවත් වීමේ අමාරුවට පත්ව ඇත්තේ රාජ්‍ය සේවකයන් පමණක් නොව පොදුවේ සියලුම ජනතාවයි. ඒ නිසා බදු ගෙවන ජනයා මත බර පටවා යම් යම් කණ්ඩායම් ඉලක්ක කරගෙන සහන සැලසීමෙන් එම පාර්ශ්වයන්ගේ ප්‍රශ්නය සැහැල්ලු විය හැකි බව ඇත්තය. එහෙත් රට බංකොලොත් වී ගොඩ එමින් සිටින මෙවැනි තීරණාත්මක මොහොතක වඩාත්ම අවශ්‍ය කරන්නේ පොදුවේ සියලුම ජනතාවගේ ආර්ථික පීඩනය සමනය කළ හැකි ආකාරයේ සහන බව පෙන්වා දිය හැකිය. එය අපි මේ මොහොතේ ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත්ව සිටින වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ ඇතුළු සියලු ජනපති අපේක්ෂකයන්ට සිහිපත් කර සිටිමු. ඉදිරි ජනපතිවරණය නිසා දේශපාලන වාසි අපේක්ෂාවෙන් හෝ සහන සැලසීම සඳහා මේ දේශපාලනඥයන් කාගෙ කාගේත් අවධානය සාමාන්‍ය ජනයා වෙත යොමුවනු ඇතැයි ද අපට සිතිය හැකිය.
මේ අතර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක රජය විසින් ජනතාව වෙත සහනාධාර ලබාදීම පිළිගත නොහැකි බව පැෆ්රල් සංවිධානය පවසා ඇත. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දැනුම්වත් කිරීමට කටයුතු කර ඇති බවයි. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ගැන නම් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා තිබුණේ ඡන්ද ලබාගැනීමේ අරමුණින් ජනතාවට මෙම සහන ලබාදී නොමැති බවයි. කෙසේ වෙතත් ජනතාවගේ ආර්ථික ගැටලු විසඳීම සඳහා සහනාධාර ලබාදීමට අවශ්‍යව තිබුණේ නම් එය ජනාධිපතිවරණයෙන් පසුව සිදු කිරීමට හැකි බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. රාජ්‍ය බලයේ සිටින අය මෙසේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක, එනම් මැතිවරණ කටේ, යම් යම් කණ්ඩායම් ඉලක්ක කරගෙන සහන හෝ වැටුප් වැඩි කිරීම් යනාදිය ප්‍රකාශයට පත් නොකර සිටීම වඩාත් සුදුසු බව ඒ අයට සිහිපත් කළ යුතුව ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]