ජීප් රථය ලයිට් කණුවක හැපි හුරුළුවැව වම්ඉවුර ඇළේ – ගොමරන්කල්ල අනතුරින් දෙදෙනෙක් මරුට

357

ගලෙන්බිඳුණුවැව කැකිරාව බී 133 මාර්ගයේ ගොමරන්කල්ල ප‍්‍රදේශයේ රිය අනතුරක් සිදුව දෙදෙනෙකු එම ස්ථානයේ දීම මියගොස් තිබේ.

ඊයේ (9 දා) අලූයම හතරට පමණ කැකිරාව දෙස සිට ගලෙන්බිඳුණුවැව දෙසට ධාවනය වූ ලෑන්ඞ්කෲෂර් වර්ගයේ ජීප් රථයක රියැදුරු සමග දෙදෙනකු ගමන් කර ඇත. රියදුරුට වේගය පාලනය කර ගත නොහැකිව රථය  ගොමරන්කල්ල හන්දියේ දී මාර්ගයෙන් ඉවතට පැන ඒ අසල තිබූ වොට් 33000 ලයිට් කණුවක ගැටී ගලෙන්බිඳුණුවැව, කැකිරාව මාර්ගයේ ගොමරන්කල්ල හන්දිය ආසන්නයෙන් මාර්ගය හරහා ගලාගෙන යන හුරුළුවැව වම්ඉවුර ඇළට පෙරළී තිබේ.

අනතුර සිදුවීමත් සමග විදුලි කණුව විදුලි රැුහැන් සමග ඇළට පෙරළී රථය මතට වැටී ඇත. ඒ වන විට හුරුළුවැව වම්ඉවුර ඇළ විවෘතව පැවැති අතර විශාල ජල කඳක් ගලා යමින් තිබුණි.

අනතුර සිදුවීමෙන් පසු ප‍්‍රදේශයේ විදුලිය ඇනහිට ඇත. ප‍්‍රදේශයේ ජනතාව හා ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ වාහනයේ සිරවී සිටි පිරිස මහත් පරිශ‍්‍රමයක් දරා ඉවතට ගෙන 1990 ගිලන් රථය උපයෝගී කරගෙන ගලෙන්බිඳුණුවැව ප‍්‍රාදේශීය රෝහල වෙත ගෙන යෑමට කටයුතු කර ඇත. ඒ වන විටත් රථයේ සිටි දෙදෙනාම මිය ගොස් සිට ඇති බව ගලෙන්බිඳුණුවැව පොලිසිය පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ ගලෙන්බිඳුණුවැව, කුඩා ගලෙන්බිඳුණුවැව පදිංචි වයස අවුරුදු 32ක දෙදරු පියකු වන ලලිත් ප‍්‍රශන්න හා එක් දරු පියකු වන ඩිමන් සෙනවිරත්න වන අවුරුදු 44ක පුද්ගලයෙකි.

සිද්ධියට අදාළව ගලෙන්බිඳුණුවැව පොලිසිය පරීක්‍ෂණ සිදු කරයි. මේ වන විට මිය ගිය අයගේ දේහයන් ගලෙන්බිඳුණුවැව ප‍්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇත.

මැදවච්චිය ගයාන්
 

advertistmentadvertistment
advertistmentadvertistment