ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද ප්‍රමුඛ පෙළ පාසල් අවුරුදු 19න් පහළ පිළිමළුන් පිටු දැකීමේ රග්බි පාපන්දු තරගාවලියේ තීරණාත්මක අවසාන මහ තරගය ඉරිදා (18) ප.ව. 04.00 ට කොළඹ පදනම් මාවතේ පිහිටි රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණ පිටියේ දී පැවැත්වේ.
මෙවර අවසාන මහ තරගය කොළඹ ඉසිපතන විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර ක්‍රියාත්මක කෙරේ.
ප්‍රබල ආක්‍රමණයක නිරත විය හැකි යොවුන් ක්‍රීඩකයන් රැසක් දෙපිල සතු වීම හේතුවෙන් මෙවර අවසාන තරගය තියුණු හා උණුසුම් ස්වරූපයක් ගනු ඇතැයි අනුමාන කළ හැකිය.
ඉසිපතන පිල ත්‍රිනේත්ර දොඩම්ගොඩ විසින් මෙහෙයවන අතර ධනුෂ්ක බොතේජු මහතා පුහුණුකරු ලෙස කටයුතු කරයි.
උස්මාන් සෆ්රාස් ගේ නායකත්වයෙන් ත්‍රිත්ව විදුහල පිටියට පිවිසෙන අතර ෆාසීල් මරීජා මහතා පුහුණුකරු ලෙස කටයුතු කරයි.
වර්ෂ 12කට පසුව සංවිධානය වෙමින් ත්‍රිත්ව විදුහල මෙවර අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නා අතර වාරයේ දී නොකඩවා සිව් වැනි වසරටත් අවසාන තරගයට අවතීර්ණ වීමට ඉසිපතන විදුහලට හැකියාව ලැබිණි. පිළිමළුන් පිටු දැකීමේ ඉතිහාසය තුළ “ජනාධිපති කුසලාන” මෙම දෙවිදුහල් දිනා ගෙන ඇති වාර ගණන 17 කි. අවුරුදු 14ක් ඉසිපතන විදුහල කුසලානය සිප ගන්නා අතර වාරයේ දී 03 වතාවක් මහනුවර ට රැගෙන යාමට ත්‍රිත්ව විදුහලට හැකියාව ලැබී තිබේ.
දේශීය පාසල් පද්ධතිය තුළ වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන ප්‍රමුඛතම හා එකම පිළිමළුන් පිටු දැකීමේ රග්බි පාපන්දු තරගාවලිය මෙය වන අතර එහි ජයග්‍රාහි කණ්ඩායමට “ජනාධිපති අභියෝග කුසලාන” හිමි වේ.
මෙවර තරගාවලියේ මූලික වටය පාසල් 16ක් අතරේ ක්‍රියාත්මක කෙරුණු අතර එහි ජයග්‍රහණ සටහන් කර ගත් පාසල් 08 අර්ධ අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබීය. අභ්‍යන්තර
ගැටලුවක් මුල්කර ගනිමින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අවසන් පූර්ව වටයේ දී ඉවත් වීමට ගත් තීරණය කැපී පෙනුණි. එහි ප්‍රතිඵලයක් ලෙස අවසන් පූර්ව වටයට පිවිසීමට කොළඹ සහිරා විදුහලට හැකියාව ලැබිණි.
මෙවර තරගාවලිය මහනුවර පාසල් 06ක් සහ කොළඹ පාසල් 10ක් අතරේ ක්‍රියාත්මක කෙරුණු අතර එහි දී ප්‍රතිවාදී කණ්ඩායම් සියල්ල අභිබවමින් අවසන් තරගයට අවතීර්ණ වීමට ඉසිපතන විදුහල සහ ත්‍රිත්ව විදුහල සමත් වූහ.
ත්‍රිත්ව, ශාන්ත අන්තෝනි, විද්‍යාර්ථ, ධර්මරාජ, කිංග්ස්වුඩ් සහ ශ්‍රී සුමංගල විදුහල් මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ අතර වෙස්ලි, ශාන්ත ජෝශප්, ශාන්ත තෝමස්, විද්‍යා, ශාන්ත පීතර, තර්ස්ටන්, සහිරා, ඩී.එස්. සේනානායක, රාජකීය සහ ඉසිපතන විදුහල් මෙවර තරගාවලියට එක්ව සිටි කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් වෙති.
අනුරුද්ධ හේරත් බණ්ඩාර
සංස්කරණය – සුසිල් ජයකොඩි