සංසාරිණී පාට කරන ඔහු

161
මේ දිනවල අතිශය ජනප්‍රිය හිරු ටී.වී ඔස්සේ විකාශය වෙන සංසාරිණී වර්ණ ගන්වන ඒ තරුණ නිර්මාණ ශිල්පියා තමයි ප්‍රභාත් සුරංග ජයකොඩි. මේ ඔහුගේ හඬයි.

කොහොමද ප්‍රභාත් මේ දවස්වල විස්තර?

ඇත්තටම සංසාරිණීහි වර්ණ සංයෝජන කටයුතු එක්ක මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. ඒ වගේම තවත් වෙළෙඳ දැන්වීම් කිහිපයක සහ ඉදිරියේ දී විකාශයවීමට නියමිත ටෙලිනාට්‍ය කිහිපයකත් වර්ණ සංයෝජන කටයුතු කරන ගමන් ඉන්නේ.

කොහොමද ප්‍රභාත් මේ ක්ෂේත්‍රයට ආවේ?

මුලින්ම කියන්න ඕනෑ අද මම මේ ක්ෂේත්‍රයේ යම් දුරක් පැමිණ තිබෙනවා නම් එහි ගෞරවය හිමි විය යුතු කෙනෙක් තමයි පසුගිය දිනවල අප අතරින් සමුගත් ලාල් සරත් කුමාර සර්. මම කුඩා කාලයේ මුලින්ම හඬකැවීම් ශිල්පියෙක් ලෙස මේ ක්ෂේත්‍රයට ආවේ ස්වර්ණවාහිනියේ විකාශය වූ ෆ්‍රෑන්ක්ලීන් කාටූනය හරහා. එහි ෆ්‍රෑන්ක්ලීන්ගෙ චරිතයට හඬමුසු කළේ මම. ඉන්පසු විවිධ හඬකැවීම් නිර්මාණවලට දායක වුණා. පසුව මම ටී.වී දෙරණ ආයතනයට ආලෝකකරණ ශිල්පියෙක් විදියට එකතු වුණා. එහිදී මා තුළ තිබූ හැකියාව එදා ලාල් සර් හඳුනානොගන්න, මා මේ පැමිණි ගමන මට සිහිනයක් වෙන්න තිබුණා. ඉන්පසු මම හඬකැවීම් අධ්‍යක්ෂකවරයෙකු ලෙස සිරස ටී.වී ආයතනයට සම්බන්ධ වුණා. එහිදී ද අතිශය ජනප්‍රිය වූ නිර්මාණ කීපයකටම හඬකැවීම් අධ්‍යක්ෂණයෙන් සහ හඬකැවීමෙන් සම්බන්ධ වීමට මට අවස්ථාව ලැබුණා. එහිදී තමයි වෘත්තීය මට්ටමේ නිර්මාණකරුවකු වීම සඳහා පළමු අඩිතාලම වැටුණේ.

සංසාරිණී සමඟ කොහොමද ඔබ සම්බන්ධ වෙන්නේ?

ඇත්තටම ඒක අහම්බෙන් වෙච්ච දෙයක්. මම කරපු නිර්මාණ යම් යම් තැන්වලදී ඇගයීම් හා සම්මානයන්ට පාත්‍ර වුණා. එහි ප්‍රතිපලයක් ලෙස තමයි දිල්ෂාන්ව මට මුණගැහෙන්නෙ. ඔහු සහ මම අවස්ථා කීපයක්ම එකට වැඩකරලා තියෙනවා. එහිදී ඔහු තේරුම් අරන් තිබුණා මගේ දක්ෂතාවය සහ හැකියාව. ඒ නිසා තමයි ඔහු සංසාරිණී නාට්‍යයේ වර්ණ සංයෝජන කටයුතු සඳහා මට ආරාධනා කරේ.

ඔබ වර්ණ සංයෝජනය පිළිබඳව හැදෑරීමක් කර තිබෙනවාද?

ඔව්. විශේෂයෙන්ම කියන්න ඕනේ මම වර්ණ සංයෝජනය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයෙන් සහ දිනිඳු ජාගොඩ මහතා යටතේ වැඩිදුර අධ්‍යාපනය හදාරා තිබෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment