ජය පරාජයේ දෙකටම සිටිනා ප්‍රේක්‍ෂකයන් අපට සවියක් – අපේ අතින් වැරදි ගොඩක් වුණා

128

වනිඳු වැරදුනු තැන් කියයි

ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයෝ තමන්ට ලෝකයේ ඕනෑම තැනකදී සහයෝගය ලබා දෙන බවත්, මූලික වටයෙන්ම කණ්ඩායම ඉවතට විසි වී තිබියදීත් තමන්ට සහයෝගය දක්වන ප්‍රේක්ෂකයන් සිටීම පිළිබඳව තමන් සතුටට පත් වන බවත් ශ්‍රී ලංකා පන්දු වාර 20-20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග පැවසීය. “ශ්‍රී ලංකාවේ ඉන්න ප්‍රේක්ෂකයන්ට කිසිම වරදක් කියන්න බැහැ. කණ්ඩායමක් ලෙස අපි දන්නවා ප්‍රේක්ෂකයෝ අපි එක්ක ඉන්නවා කියලා. ජයග්‍රහණයේදී වගේම පරාජයේදීත් එය එලෙසමයි. සමාජ මාධ්‍යවල සිදුවන දේවල් එක්තරා පිරිසක් විසින් සිදුකරන දේවල් කියල අපි දන්නවා. එහි අරමුණ ප්‍රේක්ෂකයන්ව අපිත් සමගින් විරසක කිරීමයි. එවැනි සුළු පිරිසක් සිටියදීත් බහුතර ප්‍රේක්ෂකයන් කොටසක් අපේ රටේ සිටීම ගැන අපි වාසනාවන්තයි. ක්‍රීඩකයන් ලෙස ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය හුඟක් වටිනවා යැයි ද වනිඳු සඳහන් කළේය.

නෙදර්ලන්තය සමගින් ඊයේ පැවැති ලෝක කුසලාන තරගය ජයගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් වනිඳු ඒ බව සඳහන් කළේ ය.

අයි.සී.සී. තරගාවලි කිහිපයකදී අසාර්ථක වුවත් තවමත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වැරදි නිවැරදි කරගෙන නොමැති බවත් මෙම විස්සයි-20 ලෝක කුසලානයේ දී ලද පරාජයේ වගකීම තමන් ඇතුළු කණ්ඩායම භාරගන්නා බවත් ඔහු එහිදී පැවැසීය.

එහිදී තවදුරටත් මෙසේ ද අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායකයා “සෑම විටම තරගාවලියක් නිමා වූවායින් පසු අපි කතා කරනවා අපි ගොඩක් වැරදි කරනවා කියලා. නමුත් කණ්ඩායමක් ලෙස එම වැරදි හදාගන්නවාද කියා අපි කණ්ඩායමක් ලෙස සිතා බැලිය යුතුයි. නමුත් නායකයා ලෙස මම ගොඩක් කනගාටු වෙනවා, අපි තවමත් අපගේ වැරදි හදාගෙන නැහැ. ජාත්‍යන්තර තලයේ කණ්ඩායමක් ලෙස අපි එම වැරදි ඉක්මනින් හදාගත යුතුයි. එලෙස වුවහොත් පමණයි අපිට ඕනෑම තරගයක් ජයගන්න හැකි වෙන්නේ. මෙවන් තරගාවලියක අපි පළමු වටයෙන්ම ඉවතට යන්නේ ඒකයි. අපි කිසිදු විටෙක තරග පරාජය වෙන්න ක්‍රීඩා කරන්නේ නැහැ. අපි ක්‍රීඩා කරන්නේ අපේ රට දිනවන්නයි.

ඇත්තටම තරගාවලිය ගැන කනගාටුයි. අපි දන්නවා අපේ කණ්ඩායම කෙතරම් හොඳ කණ්ඩායමක් ද කියා. නමුත් අවාසනාවට අපගේ තරගකාරීත්වය පළමු තරග දෙකට ගෙනාවේ නැහැ. නමුත් මෙම තරගය ජයගත්තත් අපි පරක්කු වැඩියි. නායකයා සහ ක්‍රීඩකයකු ලෙස ඇත්තටම ගොඩක් කනගාටුයි ලෝක කුසලානයක මේ වගේ පළමු වටයෙන්ම එළියට යන්න වීම ගැන. එහි වගකීම අපි භාරගන්නවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම සම්බන්ධයෙන් යොමු වූ පැනයකට වනිඳු මෙලෙස පිළිතුරු ලබා දුන්නේය. ‘අපිට ගොඩක් හොඳ පන්දු යවන්නෝ ඉන්නවා. ඒ වගේම අත්දැකීම් තියෙන පන්දු යවන්නෝ අපිට ඉන්නේ. එමෙන්ම කණ්ඩායමෙන් පිටත් (බෙන්ච් එකේ) අපේ හොඳ වේග පන්දු යවන්නන් සහ දඟ පන්දු යවන්නන් ඉන්නවා. පන්දු යැවීමේ අංශයෙන් සැලකුවහොත් අපි මෙම තරගාවලියේ ඉතාමත් ඉහළින් සිටිනවා. නමුත් අවාසනාවකට අපගේ පිතිකරණය අවශ්‍ය ලෙස සිදු වුණේ නැහැ. මෙම තරගාවලියෙන් මෙතරම් ඉක්මනට එළියට යන්න වුණේ ඒ නිසායි.’ ක්‍රීඩකයන් ලෙස තමන් ඇත්තටම සමාජ මාධ්‍ය බලන්න සුදුසු නැති බවත් එය ක්‍රීඩකයන් ගේ මානසික ඒකාග්‍රතාවයට බලපෑම් කරන බවත් ශ්‍රී ලංකා විස්සයි-20 නායකයා පැවැසීය.

එමෙන්ම ඇමෙරිකාවේ දේශගුණය ඇතුළු අනෙකුත් තත්ත්වයන්ට අනුගත වීම සඳහා කණ්ඩායමට ඉක්මනින් ඇමෙරිකාව බලා පැමිණීමට ඉඩ සැලසූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ද වනිඳු සිය ස්තුතිය පළ කර සිටියේය.

‘අපිව දින 10කට කලින් ඇමෙරිකාවට එන්න අවස්ථාව ලබා දී පුහුණු කඳවුරකට යොමු කිරීම ගැන ක්‍රිකට් ආයතනයට ස්තුතිවන්ත විය යුතුයි. නමුත් මෙහි කාලගුණ තත්ත්වයන්ට සහ තණතීරුවලට හුරු වීමට එය විශාල දෙයක්. නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේ අපි පුහුණුවූ ක්‍රීඩාංගණවල තණතීරුවල තත්ත්වයන් එක සමාන වූයේ නැහැ. නමුත් හැකි පමණ අපි අනුවර්තනය වුණා. අවාසනාවන්ත ලෙස අපි සාර්ථක වුණේ නැහැ.’

කුෂාන් සුබසිංහ සෙන්ට් ලුසියා සිට

advertistmentadvertistment
advertistmentadvertistment